බටහිර නාවික විධාන බක්මහ උළෙල වැලිසර නාවික සංකීර්ණයේ දී උත්කර්ෂවත් අයුරින් පවත්වයි

බටහිර නාවික විධාන බක්මහ උළෙල, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරාගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ‍ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් 2024 අප්‍රේල් මස 20 වන දින වැලිසර නාවික සංකීර්ණයේ නාවික තාක්ෂණික ආයතන ක්‍රීඩාපිටියේ දී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

2024 අප්‍රේල් මස 20 වන දින උදෑසන මැරතන් තරඟයෙන් සහ පාපැදි තරඟයෙන් ආරම්භ වූ බටහිර නාවික විධාන අළුත් අවුරුදු උත්සවය සාම්ප්‍රදායික සිංහල හා දෙමළ සංස්කෘතිකාංග හා ජන ක්‍රීඩා අංගයන් ගෙන් සමන්විත විය. දිනය පුරා පැවැත්වුණු අවුරුදු උත්සවයෙන් අනතුරුව, නාවික හමුදාධිපති සහ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් අවුරුදු උත්සවයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත තිළිණ ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

ඒ අනුව, අවුරුදු උත්සවයේ මැරතන් ධාවන තරඟයෙහි පිරිමි අංශයේ ශූරතාවය බලනැවි එල්කේසීඩී කුමාර විසින්ද, එහි කාන්තා අංශයේ ශූරතාවය සාමාන්‍ය කාන්තා නැවි ඩබ්ඒඑල්ටීආර් වැලිවිට විසින්ද හිමිකර ගත් අතර, පාපැදි තරඟයෙහි පිරිමි අංශයේ ශූරතාවය සුළු නිලධාරි එස්බීආර්එන් හේමකීර්ති විසින්ද, එහි කාන්තා අංශයේ ශූරතාවය බල කාන්තා ශාරීරික අභ්‍යාසක ඩබ්ජීඩීඕ කරුණානායක විසින්ද දිනා ගන්නා ලදී. 2024 බටහිර විධාන අවුරුදු කුමරා ලෙස උප ලුතිනන් ඩබ්වීඩීඒඩී වෑවිට තේරී පත්වූ අතර, අවුරුදු කුමරිය ලෙස බල කාන්තා වාදක එස්එම්එච්සී සෙව්වන්දි තේරී පත්විය.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, ධජ නිලධාරීන් ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ හා බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන් ඇතුළු සේවා වනිතා සාමාජිකාවන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ කාන්තා නිලධාරීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.