විශ්‍රාමික හමුදා පුද්ගලයින් හට ඉහළ වැටුප් සහ වරප්‍රසාද හිමි වන බවට නොමඟ යවමින් රුසියා - යුක්‍රේන යුද්ධයේ පෙරපෙළ සටන් සඳහා යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධව දැනුවත් කිරීමයි

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන් තුළ සේවය කර විශ්‍රාමලත් හමුදා පුද්ගලයින් හට රුසියානු සහ යුක්‍රේන හමුදාවන්ට අනුයුක්තව ඉහළ වැටුප් සහ පුරවැසිභාවය ඇතුළු විශාල වරප්‍රසාද හිමි වන බවට නොමඟ යවමින් ඔවුන් සංචාරක වීසා මත රුසියාව සහ යුක්‍රේනය වෙත රැගෙන ගොස් රුසියානු - යුක්‍රේන යුද්ධයේ පෙරපෙළ සටන් සඳහා යෙදවීමේ මිනිස් ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇත.

එලෙස සංචාරක වීසා මත රුසියාව සහ යුක්‍රේනය වෙත රැගෙන යනු ලබන විශ්‍රාමික හමුදා පුද්ගලයින්, රුසියාව සහ යුක්‍රේනය තුළ ක්‍රියාත්මක වන කුලී හමුදාවන් වෙත අනුයුක්ත කෙරෙන බවත්, ඔවුන් හට පොරොන්දු වන කිසිදු ඉහළ වැටුපක් හෝ වරප්‍රසාදයක් හිමි නොවන බවටත්, අධික සීතල, අවම පහසුකම් සහිත කිසිදු සන්නිවේදන පහසුකමක් නොමැති දුෂ්කර සහ කටුක තත්වයන්ට මුහුණ දී ඇති බවටත් තොරතුරු අනාවරණය වන අතර, යුද්ධ භූමියේදී බරපතල තුවාල ලබා ඉතාමත් අසරණව සහ කිසිදු හව්හරණක් නොමැතිව ඉන් සමහරක් එහිදී මිය යන බවටද තොරතුරු වාර්තා වී ඇත.

ඒ අනුව, මෙම මිනිස් ජාවාරමට හසුවී, මව්බිම වෙනුවෙන් වසර ගණනාවක් අභිමානවත් සේවයක් සිදුකර විශ්‍රාමලත් හමුදා පුද්ගලයෙකු ලෙස හිමිවන සියළු වරප්‍රසාද සහ උපයා ගත් සියළු වත්කම් අහිමි කර ගැනීමෙන් වළකින ලෙසත්, අවසානයේ තම සේවා සගයින් ගේ හෝ පවුලේ සමීපතමයින්ගේ හෝ කිසිදු හිතෛෂියෙකුගේ උපකාරයක් රැකවරණයක් නොමැතිව මව්බිමෙන් දුර බැහැර විදේශ භූමියකදී ඉතාමත් අසරණව ජීවිතයෙන් සමු ගැනීමේ අවධානමකට පත්වීමෙන් වළකින ලෙස විශ්‍රාමලත් සියළුම නාවික හමුදා පුද්ගලයින් වෙත නාවික හමුදාව අවධාරණය කර සිටියි.

තවද, මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන සක්‍රීය සේවයේ නියුතු හමුදා පුද්ගලයින් හෝ වෙනත් අයවළුන් සම්බන්ධ තොරතුරු තිබේනම්, නාවික හමුදා මූලස්ථානයේ දුරකථන අංක 0117192142 හෝ 0117192250 යන අංකයන් වෙත යොමු කරන මෙන් නාවික හමුදාව විසින් මහජනතාව වෙතින් ඉල්ලා සිටිනු ලැබේ.