නාවික හමුදාධිපති ගිණිකොන නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2024 මැයි මස 08 වන දින සිට 10 වන දින දක්වා ගිණිකොන නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානය මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කර, වර්තමාන තත්වය හමුවේ නාවික හමුදාවේ කාර්යය භාරය කාර්ක්‍ෂමව ඉටුකිරීම සඳහා කැපවිය යුතු ආකාරය සම්බන්ධයෙන් එම විධානයේ නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීම සිදුකෙරිණි.

ඒ අනුව, මෙම නිල සංචාරය ආරම්භ කරමින් 2024 මැයි මස 08 වන දින ගිණිකොන නාවික විධානයට අයත් පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහනාග ආයතනය මඟින් සිදුකෙරෙන රාජකාරීන් නිරීක්‍ෂණය සඳහා නාවික හමුදාධිපති ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ ගිණිකොන නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමඟ සහභාගි වූ අතර, මහානාග ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී නාවික හමුදාධිපති විසින් ගිණිකොන නාවික විධානයේ නිලධාරීන් සහ නාවිකයින් වෙනුවෙන් දැනුවත් කිරීමේ දේශණයක් පැවැත්වීමට කටයුතු කෙරිණි.

එහිදී, අදහස් දැක්වූ නාවික හමුදාධිපති, අනෙකුත් විධානයන් හා සසදන කල්හි ගිණිකොන නාවික විධානයට අයත් අරුගම්බේ වෙරළ තීරය සුවිශේෂී වෙරළ තීරයක් බවත්, එම වෙරළ තීරය ර‍ටේ අනාගත සංවර්ධ‍නයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට හැකියාවක් ඇති බවත් පවසන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, රට පසුගිය සමයේ පැවති දුෂ්කර කාලවානුව පසු කරමින් ක්‍රමයෙන් යථා තත්වයට පත් වෙමින් පවතින බවත්, එම තත්වයන් හමුවේ විවිධ සුභසාධන පහසුකම් සහ සළාක දීමනාව ඉහළ නැංවීම වැනි කටයුතු මඟින් නාවික හමුදා පුද්ගලයන් හට විශාල සහනයක් ලබාදීමට හැකිවූ බවත්, පොදුවේ නාවික හමුදාව වියදම් සීමා කිරීමේ ප්‍රතිපත්තියක සිටින බැවින්, තවදුරටත් තම පෞද්ගලික ආර්ථික කටයුතු මනා කළමණාකාරීත්වයකින් යුතුව සිදු කිරීම සහ ආදායමට සරිලන ලෙස වියදම පාලනය කරගැනීම අත්‍යවශ්‍ය බවත් පවසන ලදි.

කිනම් දුෂ්කරතාවයක් හමුවේ වුවද, නාවික හමුදාවේ කාර්යභාරය ඉටු කරමින් ස්ථායි සාගර කළාපයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකරනු ලබන මෙහෙයුම් ජාත්‍යන්තරයේ විශේෂ ඇගයීමට ලක් වී ඇති අතර, අන්තර්ජාතික සංවිධාන, කලාපීය හා කලාපීය නොවන රාජ්‍යයන්ගේ නාවික හමුදාවන් සමඟ සබඳතා වැඩිදියුණු වීමටත්, නාවික හමුදාවට විශාල පිළිගැනීමක් හිමිවීම සිදු වූ අතර, පසුගිය වකවානුවේ මුහුදු මංකොල්ලකරුවන්ගෙන් මෙරට ධීවර යාත්‍රාවක් නිරුපද්‍රිතව බේරා ගැනීමටද එම සබඳතා හේතු වූ බවත් පවසන ලදි. පසුගිය වසරේ ඒකාබද්ධ සමුද්‍රීය බලකාය සමඟ සන්ධාන ගතවූ ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය සාගර කලාපයේ නිදහස් මුහුදු ගමනාගමනය ස්ථාපිත කිරීම වෙනුවෙන් කැපවෙන ප්‍රමුඛ නාවික හමුදාවක් බවට පත් වී ඇති බවත් දේශීය ජල තීරයෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර මුහුදේ මෙහෙයුම් සිදුකරනු ලබන නාවික හමුදාවක් බවට ශ්‍රී ලංකා නාවික හමුදාව පරිවර්තනය වෙමින් පවතින බවත්, ඒ සඳහා නව දැනුම, කුසලතා, අත්දැකීම් සහ ආකල්පමය සංවර්ධනයක් ඇති කර ගත යුතු බවත් පවසන ලදි.

දූපත් රාජ්‍යයක් වශයෙන් මුහුදේ ආරක්ෂාව සඳහා ඇති ජාත්‍යන්තර බැඳීම ඉටු කර සාගර කළාපය ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීතිවිරෝධි කටයුතු මැඩපැවැත්වීම සඳහා අනෙකුත් පාර්ශව හා එක්ව ඉදිරියටත් නාවික හමුදාව කැපවී සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය පුහුණුව, තාක්ෂණික උපාංග සහ සම්පත් ඇතුළු නාවික හමුදාවේ හැකියාවන් ක්‍රමයෙන් වැඩිදියුණු කෙරෙන බවත් පැවසූ නාවික හමුදාධිපති, ලක් රජයේ සහ වෙනත් විදේශීය රාජ්‍යයන්ගේ සහයෝගයෙන් සාගරික වපසරිය ආවේක්ෂණ කිරීමේ උපාංග පමණක් නොව, ජලශ්‍රාස්ත්‍රීය අංශයේ ඉදිරි කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් සම්පත් ලැබෙන බවත් පවසන ලදි. විශේෂයෙන් සමුද්‍රීය ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් නාවික හමුදාව විසින් සිදු කෙරෙන කාර්යභාර‍ය හේතුවෙන් සමුද්‍රීය සංචාරක ව්‍යාපාරය ඇතුළු පුළුල් පරාසයක සංවර්ධනය වන ආර්ථික කටයුතු තුළින් ඉදිරියේදී නාවික හමුදාවෙන් විශ්‍රාම ලබන නාවික හමුදා පුද්ගලයින් හටද විශාල ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇති බවත් පවසන ලදි.

නාවික විනය හා මනා පාලනය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව එහිදී පැවසූ නාවික හමුදාධිපති, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම වෙනුවෙන් නාවික හමුදාව සිදුකරනු ලබන විශාල කාර්යභාරය සඳහා සමාජයේ සුවිශේෂී ඇගයීමක් හිමි වී ඇති පසුබිමක, කෙටි මාර්ග ඔස්සේ මුදල් ඉපයීමේ අරමුණෙන් එවැනි ජාවාරම් සඳහා සම්බන්ධ වී නාවික හමුදාවේ ප්‍රතිරූපයට හානිවන ලෙස කටයුතු කිරීමෙන් වළකින ලෙස අවධාරණය කෙරිණි.

ඉන් අනතුරුව, නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ ජල අවශ්‍යතාවය සපුරා ගැනීම වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද හැඩඔය ජල ව්‍යාපෘතිය විවෘත කළ නාවික හමුදාධිපති, එම ඉදිකිරීම් කඩිනමින් සම්පූර්ණ කිරීම සඳහා කැපවූ නාවික පුද්ගලයන් ඇගයීමද එහිදී සිදුකෙරිණි. අනතුරුව, මුහුදු මහා විහාරය වැඳ පුදා ගත් නාවික හමුදාධිපති එම විහාරාධිපති හිමි බැහැදැක ආශිර්වාද ලබා ගැනීම ද සිදු කෙරිණි.

මෙම සංචාරයේදී දීඝවාපී රජමහා විහාරය වැඳ පුදාගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති විසින් එම විහාර පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකෙරෙන වෛත්‍යය සඳහා මුල්ගල් තැබීමත්, නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිවන විශ්‍රාම ශාලාව නිරීක්ෂණය කිරීමත් සිදු කෙරිණි.

අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා දීඝායු ආයතනය මඟින් පරිපාලනය වන කාර්තිව් සහ ඔලුවිල් නාවික අනුඛණ්ඩයන්හි නීරීක්ෂණ චාරිකාවාරයේ නිරත වූ නාවික හමුදාධිපති, 2024 මැයි මස 10 වන දින පානම, කුඩුම්බිගල වන සෙ‍නසුනෙහි වැඩ වසන භික්ෂූන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව, එම වන සෙනසුනෙහි නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් අභිනවයෙන් ඉදිකෙරෙන ආවාස ගෙය නිරීක්ෂණය කිරීමද සිදු කෙරිණි.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා නාවික නෞකා මහනාග ආයතනය මඟින් පරිපාලනය වන ඔකඳ නාවික අනුඛණ්ඩයේ නීරීක්ෂණ චාරිකාවාරයේ නිරත වූ නාවික හමුදාධිපති අනතුරුව, මහනාග ආයතනයේ අභිනවයෙන් ඉදිකෙරෙන ‍ගොඩනැඟිල්ලක් නිරීක්ෂණය මෙන්ම එම ආයතනයේ ගිලන් හලෙහි නිරීක්ෂණ වාරිකා වාරය සඳහාද එක් විය.

තවද, මෙම නිල සංචාරය සඳහා ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග, නාවික හමුදාධිපතිගේ නාවික සහයක කොමදෝරු කෝසල වර්ණකුලසූරිය, ගිණිකොන විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මාලන් පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා නාවික නෞකා මහනාග ආයතනයේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා දීඝායු ආයතනයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.