ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී සහ උතුරු නාවික විධානයේ ආඥාපති අතර හමුවක්

උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරතවන ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ජූලි චංග් මහත්මිය 2024 මැයි මස 15 වන දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ හමු විය.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ආඥාපති විසින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය එම විධාන මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. එමෙන්ම එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

තවද, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී නයිනතිව් සහ ඩෙල්ෆ්ට් දූපත වෙතද සංචාරය කෙරුණු අතර, ඒ සඳහා අවශ්‍ය මුහුදු ප්‍රවාහන පහසුකම් නාවික හමුදාව විසින් ලබාදීම සිදුකෙරිණි.