ආපදාවට පත් කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ ධීවරයින් මුදා ගැනීමේ මෙහෙයුමට සිඳුරළ නෞකාව පිටත් වෙයි
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, හම්බන්තොට සිට නාවික සැතපුම් 354ක් පමණ (කිමි 655ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී, අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පෙරලී ආපදාවට පත්ව ඇති කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනෙකු (04), කොළඹ සමුද්‍රිය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් බේරාගැනීමට සමත් වූ අතර, ආපදාතත්වයට පත් මෙම ධීවරයින් පිරිස මුදා ගැනීමේ වැඩිදුර මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව එම මුහුදු ප්‍රදේශය වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.
දෙවුන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව යන ලද කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ සන්නිවේදන සබඳතා ඇනහිට ඇති බවත්, එම යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් පිරිස සොයා ගැනීම සඳහා සහය ලබා දෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රිය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකෙරුණු දැනුම් දීමකට ක්‍ෂණිකව ක්‍රියාත්මකවු කොළඹ සමුද්‍රිය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපය සහ යාබද කලාප තුල ධීවර හා නාවික ප්‍රජාව දැනුවත් කර අවශ්‍ය ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කිරීම සිදු කෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, හම්බන්තොට සිට නාවික සැතපුම් 354ක් පමණ (කිමි 655ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ කෙෂාන් පුතා 1 බහුදින ධිවර යාත්‍රාව පෙරළී ආපදාවට පත්ව තිබියදී, එහි සිටි ධීවරයින් සිව් දෙනෙකු (04) ඉන්දුනීසියානු ධිවර යාත්‍රාවක් මඟින් බේරා ගැනීමෙන් පසු, කොළඹ සමුද්‍රිය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මෙම ධිවරයින්ට අවශ්‍ය මුලික ප්‍රථමාධාර හා මූලික අවශ්‍යතා ලබා දීම සඳහාත් මුදා ගැනීමේ කටයුතු වේගවත් කිරීම සඳහාත් MV Graceful Star වෙළද නෞකාව වෙත භාර දීමට කටයුතු කෙරුණි. තවද, මෙම මුදා ගැනීමේ මෙහෙයුම සඳහා ආරක්‍ෂක අමාත්‍යංශයේ උපදෙස් මත, ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
















