මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ තවත් යාත්‍රාවක් ගැඹුරු මුහු‍දේදී නාවික හමුදා අත්අඩංගුවට


2020 වසරේදී පලමු කාර්තුව තුල ගැඹුරු මුහුදේ මුර සංචාරයෙහි යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුර නෞකාවන් ඉතාමත් සාර්ථක ප්‍රථිපල ගෙනදෙමින් හෙරෝයින්, අයිස් සහ කෙටමයින් යන මත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද එය රැගෙන එමින් සිටි මත් ද්‍රව්‍ය ඡාවාරම් කරුවන් සහ විදේශ යාත්‍රාවන් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

එහි නවතම ප්‍රථිපලය ලෙස ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548 (දල වශයෙන් කි.මී 985 පමණ) දුරකින් වු ගැඹුරු මුහුදේදී රාජ්‍ය ධජ හිමි නැති (Flag Stateless) විදේශිය යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය සෝදිසි කිරීමේදී හෙරෝයින්කි.ග්‍රෑ 260 සහ අයිස් කි.ග්‍රෑ 56 සමඟ ඉරාන ජාතිකයින් බවට සැක කරන පුද්ගලයින් 7 අත්අඩංගුවට ගන්නා ලදී.

මෙය මෙම අවුරුද්ද තුල මෙයට පෙර ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද යාත්‍රා 03හි සිටි පුද්ගලයින්ගේ ප්‍රශ්ණ කිරීමේදී ලද තොරතුරු මෙන්ම ජාත්‍යන්තර තොරතුරු හුවමාරුව, චන්ද්‍රිකා දුරකථන වල දත්ත විශ්ලේෂණය කිරීමේදී අනාවරණය වු කරුණු මත ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කල මෙහෙයුමක ප්‍රථිපල වේ.

එම විශ්ලේෂණයන් මත මාර්තු මස 30 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් දින 14ක සාගරික මෙහෙයුමකට අදාල මුහුදු ප්‍රදේශය වෙත යොමු කරන ලදී. දින 2 ක ගමනකින් පසු නෞකාව සමකය පසුකර කලින් හදුනාගත් මුහුදු ප්‍රවේශ මාර්ගයන් දින 09 ක් පුරාවට නිරීක්‍ෂණය කර 10 වන දිනයේදී (2020 අප්‍රේල් මස 10 වන දින උදැසන 1100 පැයට පමණ) මත්ද්‍රව්‍ය රැගෙන එමින් තිබු විදේශීය යාත්‍රාව සොයා ගන්නා ලදී. මෙම මුහුදු මෙහෙයුමේදී චන්ද්‍රිකා ජායාරෑප ද ජාත්‍යන්තර සහයෝගය මත ලබාගත් අතර, එම දත්තයන්ද විශේෂයෙන් මෙම ප්‍රවේශ මාර්ගයන් තහවුරු කර ගැනීමට පිටුවහලක් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයන් අවහිර කිරීමට තම දායකත්වය ප්‍රධාන නෞකාවන් හරහා ලබාදෙන අතර, මෙම දිවයින මත්ද්‍රව්‍ය වලින් තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙලට එය අගනා ශක්තියක් ලබා දෙයි.

මෙවර අත්අඩංගුවට පත් මත් ද්‍රව්‍ය වල වීදි වටිනාකම රුපියල් කෝටි 327 ක් පමණ වන බවට තක්සේරු කර ඇති අතර, මෙම තොගයද සමඟ මේ වසරේ පමණක් දැනට ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය ප්‍රමාණය හෙරෝයින් කි.ග්‍රෑ 687 ක්, අයිස් කි.ග්‍රෑ 795 ක් සහ කැටමයින් කි.ග්‍රෑ 579 ක් වශයෙන් සටහන් වේ.