ඉන්දු - ලංකා නාවික අභ්‍යාසය - SLINEX 2020 නැගෙනහිර මුහුදේදී නිමාවට පත් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වාර්ශිකව පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය - SLINEX 2020, මෙම මස 19 වන දින සිට දින තුනක් පුරා නැගෙනහිර මුහුදේදී පවත්වන ලද අතර, එම නාවික අභ්‍යාසය අද (2020 ඔක්තෝබර් 21) සාර්ථකව නිමාවට පත් විය.

අටවන (08) වරට පවත්වන ලද මෙම ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ සහ ‘සයුර’ යන ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා සහභාගී වූ අතර, ඉන්දීය නාවික හමුදාව නියෝජනය කරමින් අයිඑන්එස් ‘කමෝර්ටා’ (INS Kamorta) සහ අයිඑන්එස් ‘කිල්ටාන්’ (INS Kiltan) යන නෞකා හෙලිකොප්ටර් යානාවන් සමගින් මේ සඳහා එක්විය.

දෙරටේ නාවික හමුදාවන් අතර අන්තර් ක්‍රියාකාරීත්වය ඉහල නැංවීම සහ දෙපාර්ශවය අතර ඒකාබද්ධ නාවික මෙහෙයුම් අභ්‍යාස කිරීම මෙන්ම අත්දැකීම් හුවමාරු කර ගැනීමේ අරමුණින් පවත්වන ලද මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසය තුළදී ‘කිල්ටාන්’ හා ‘ගජබාහු’ නෞකා අතර හෙලිකොප්ටර් යානා ගොඩබෑමේ අභ්‍යාස, නෞකා පෙලහැඩ අභ්‍යාස, අවි හැසිරවීමේ හා වෙඩි තැබීමේ අභ්‍යාස සහ සෙවීම් හා මුදවා ගැනීම් අභ්‍යාස සාර්ථකව පවත්වන ලදි.

තවද, කොවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබා දී ඇති සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් දෙපාර්ශවයේ නාවික පුද්ගලයින් අතර දුරස්ථභාවය පවත්වා ගනිමින් මෙම නාවික අභ්‍යාසය පවත්වන ලද අතර, මෙවැනි අභ්‍යාස මගින් නාවික මෙහෙයුම් සිදු කිරීමේදී ස්වකීය හැකියාවන් සහ සීමාවන් පිළිබඳ දෙපාර්ශවය අතර අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කර ගැනීමටත් දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් මහගු අවස්ථාවක් සැළසෙනු ඇත.