බටහිර මුහුදේ නාවික හමුදා මෙහෙයුමකින් රුපියල් කෝටි 60 කට අධික මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 04 ක් නීතියේ රැහැනට

නාවික හමුදාව විසින් මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2021 ජනවාරි 04) දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බහුදින ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබූ අයිස් නමැති මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සහ හෂීස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 80 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් (04) එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ රජයේ ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කරමින් මුහුදු මාර්ගයෙන් සිදු වන මත් ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව මුර සංචාර වැඩි කර දැඩි අවධානයෙන් මුර සංචාර සිදු කරනු ලබයි. ඒ අනුව, පසුගිය දා ගාල්ල දොඩංන්දූවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවක් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වූ අතර, එලෙසින්ම බටහිර නාවික විධානය විසින් මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර එහි උර 09 ක ප්ලාස්ටික් ඇසුරුම් හා පැකට් වශයෙන් සූක්‍ෂමව අසුරා ප්‍රවාහනය කරමින් තිබූ අයිස් නමැති මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සහ හෂීස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 80 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් (04) එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් කෝටි 60 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

සියළුම බුදිධි සේවාවන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සමඟ සහයෝගීත්වයෙන් සිදු කළ මෙම විශේෂ මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් හලාවත තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, මෙම මෙහෙයුම සඳහා ගුවන් හමුදාවේද සහය ලැබුණි.

තවද, කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, මත්ද්‍රව්‍ය තොගය සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, මුහුදු මාර්ගයෙන් සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සියළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා මුර සංචාර තව දුරටත් වැඩිකරමින් නාවික හමුදාව ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් සිදු කරනු ලබයි.