ශ්‍රීලංනානෞ ගජබාහු නෞකාව පකිස්තානයේ පැවති “අමාන් - 2021” බහුපාර්ශවික සාගරික අභ්‍යාසය සඳහා සහභාගී වෙයි

පකිස්ථානු නාවික හමුදාව විසින් “සාමය සඳහා එක්ව” (Together for Peace) යන තේමාව පෙරදැරිව හත්වැනි වරටත් සංවිධානය කරනු ලබන බහු පාර්ශවික අමාන් (AMAN 2021) සාගරික අභ්‍යාසය 2021 පෙබරවාරි මස 12 වන දින පාකිස්තානයේ කරච්චිහි නාවික තටාකංණයේදී නිල වශයෙන් ආරම්භ කරන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව මෙම නාවික අභ්‍යාසය සඳහා සහභාගී විය.

රටවල් 45 ක පමණ සහභාගීත්වයෙන් පෙබරවාරි මස 16 වන දින දක්වා පැවති මෙම අමාන් (AMAN 2021) බහු පාර්ශවික නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව 2021 පෙබරවාරි 05 වන දින නාවික හමුදා සම්ප්‍රදායානුකූල චාරිත්‍ර මධ්‍යයේ කොළඹ වරායෙන් පකිස්ථානයේ කරච්චි වරාය බලා පිටත් විය.

ඒ අනුව,මෙම නාවික අභ්‍යාසයේ වරාය අදියර අවස්ථාව (Harbour phase) 2021 පෙබරවාරි 12 වන දින සිට 14 වන දින දක්වා පකිස්තානයේ කරච්චි වරායේදී පැවැත්වුනු අතර, එහිදී පකිස්තානු නාවික හමුදාධිපති අද්මිරාල් එම් අම්ජාඩ් ඛාන් නියාසි (M Amjad Khan Niazi) ශ්‍රීලංනානෞ ගජබාහු නෞකාව නිරීක්‍ෂණය සඳහා එක්විය. මෙම නාවික අභ්‍යාසයේ මුහුදු අදියර (Sea phase) පෙබරවාරි 15 සහ 16 යන දෙදින උතුරු අරාබි මුහුදේ පවත්වනු ලැබූ අතර, සාගරික ආරක්‍ෂක මෙහෙයුම්, මුහුදු ත්‍රස්තවාදී කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් සහ මානුශීය සහන සැළසීමේ මෙහෙයුම් මූලික කර ගනිමින් කලාපීය වශයෙන් සාගරික ආරක්ෂාවට බලපානු ලබන සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන තර්ජනයන් කළමනාකරණය කරගැනීම සඳහා, ප්‍රතිචාර දැක්වීම, උපායමාර්ග, ශිල්පීය දැනුම හා ක්‍රමවේද ඇතුලත් පුහුණු අභ්‍යාස රැසක් මෙම අභ්‍යාසය තුළදී සිදු කෙරිණි. තවද, මෙම අභ්‍යාසයට සමගාමීව පෙබරවාරි 13 වන දින සිට 15 වන දක්වා “Development of Blue Economy under a Secure and Sustainable Environment: A Shared Future for Western Indian Ocean Region” යන තේමාව යටතේ අන්තර් ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණයක් ද පකිස්තාන නාවික හමුදාවේ මූලිකත්වයෙන් පැවැත් වුනු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ධජ නිලධාරී නාවික දියත් විධානය රියර් අද්මිරාල් බණ්ඩාර ජයතිලක සහභාගී විය.

අමාන් (AMAN 2021) බහුපාර්ශවික සාගරික අභ්‍යාසය පෙබරවාරි මස 16 වන දින නිල වශයෙන් අවසන් වීමෙන් පසු පකිස්තාන නාවික හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව අතර පැවැත්වෙන දෙදින ද්වීපාර්ශික නාවික අභ්‍යාසයක් සඳහා ද ශ්‍රීලංනානෞ ගජබාහු නෞකාව පෙබරවාරි 17 සහ අද දින (පෙබරවාරි 18) සහභාගීව සිටී.

විදෙස් නාවික හමුදාවන් සමඟ පැවැත්වෙන මෙවැනි සාගරික අභ්‍යාස සඳහා සහභාගී වීම මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවට කළාපීය නාවික හමුදාවන් සමඟ අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම, සාගරික මෙහෙයුම් සම්බන්ධ නව දැනුම, ක්‍රමෝපායයන් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, නව අභියෝග හඳුනාගැනීම සහ ඒ සඳහා සාමුහිකව විසදුම් සෙවීමට හැකිවීම වැනි ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇත.

තවද, කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සංවිධානය කරන ලද මෙම නාවික අභ්‍යාස ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ සාගරික ආරක්ෂාව ස්ථාවරව පවත්වා ගැනීමටද පිටිවහලක් වනු ඇත.