ගං වතුරෙන් විපතටපත් ජනතාවට සහන සැලසීම සදහා නාවික හමුදා සහන කණ්ඩායම් 32ක්

අධික වර්ෂාව හේතුවෙන් බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත් තුළ ඇති වි තිබෙන ගං වතුර තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සහන කණ්ඩායම් 32ක් නාවික හමුදාව විසින් යොදවා ඇති අතර, අද දිනයේද (2021 ජුනි 07) මෙම සහන කණ්ඩායම් අඛණ්ඩව ගං වතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සිදු කරමින් සිටියි.

තවද, පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අපද්‍රව්‍ය වක්වැල්ල පටු පාලම තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිරවීම හේතුවෙන් නාවික හමුදාව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේද සහය ඇතිව වක්වැල්ල පාලම තුල සිර වූ දැව කදන් ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරිමේ මෙහෙයුමක් 2021 ජුනි මස 06 වන දින සිදු කර ප්‍රදේශයේ ඇති විය හැකිව තිබූ ගං වතුර අවධානම් තත්වය මගහරවා ගැනීමට ක‍ටයුතු කෙරිණි.

එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් ජා ඇල දඬුගං ඔයෙහි ඉවුරු කැඩි යාමෙන් අවට ගම් ප්‍රදේශ ගං වතුර අවදානමකට ලක්වී තිබූ අතර, එම අවදානම වැලැක්වීම සඳහා වැලි කොට්ට යොදා ඉවුරු පිළිසකර කිරීමේ මෙහෙයුමක්ද 2021 ජුනි 06 දින නාවික හමුදාව, යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදුකරන ලදී.

ගං වතුරෙන් විපතට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත සහන කණ්ඩායම් යොමු කිරීම‍ට නාවික හමුදාව අවධානයෙන් සිටියි.