ඉන්දියානු වෙරළ ආරක්‍ෂක ‘සමුද්‍ර ප්‍රහාරී’, ‘වජ්රා’ සහ ‘වෙබාව්’ නෞකාවන්ගේ සේවය නාවික හමුදාධිපතිගේ පැසසුමට

2021 මැයි මස 20 වන දින කොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ගිනි ගැනීමට ලක්වූ MV X-PRESS PEARL නෞකාවේ ආපදා තත්ත්වය කලමනාකරණය කරගැනීම සඳහා අනෙකුත් පාර්ශවයන් හා එක්ව සිදුකළ විශිෂ්ඨ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘සමුද්‍ර ප්‍රහාරී’ (ICGS Samudra Prahari ), ‘වජ්රා’ (ICGS Vajra) සහ ‘වෙබාව්’ (ICGS Vaibhav) යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් සේවය ඇගයීමේ ලිපි ප්‍රදානය කිරීම අද දින (2021 ජුනි 10) කොළඹ වරාය පරිශ්‍රයේදී සිදු කෙරිණි.

MV X-PRESS PEARL නෞකාවේ ඇතිවූ ආපදා තත්වය කළමනාකරණය කරගැනීම සඳහා සහය වන ලෙස නාවික හමුදාධිපති විසින් ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙතින් සිදුකළ ඉල්ලීමට වහාම ප්‍රතිචාර දක්වමින්, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘වෙබාව්’ (ICGS Vaibhav) සහ ‘වජ්රා’ (ICGS Vajra) නෞකාවන් 2021 මැයි 25 සහ 26 දිනයන්හිදී සහ සාගර පරිසර හානි වැළැක්වීමේ හා ගිනි නිවීමේ හැකියාවෙන් සමන්විත ‘සමුද්‍ර ප්‍රහාරී’ (ICGS Samudra Prahari ) නෞකාව 2021 මැයි 29 දින ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයට පැමිණ MV X-PRESS PEARL නෞකාවේ ඇතිවූ ආපදා තත්වය පාලනය කිරීමේ මෙහෙයුම සඳහා අනෙකුත් පාර්ශවයන් හා එක්ව දායක විය.

ඒ අනුව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දිකුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීත්වය තවදුරටත් වැඩිදියුණු කරමින් ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අ‍යත් ‘සමුද්‍ර ප්‍රහාරී’ (ICGS Samudra Prahari ), ‘වජ්රා’ (ICGS Vajra) සහ ‘වෙබාව්’ (ICGS Vaibhav) යන නෞකාවන්ගේ කාර්ය මණ්ඩලය X-PRESS PEARL නෞකාවේ ඇතිවූ ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමේ මෙහෙයුමට මුලින්ම සම්බන්ධ වූ පාර්ශවයක් ලෙස අනෙකුත් පාර්ශවයන් හා එක්ව එම මෙහෙයුම හමුවේ විදහා දැක්වූ විශිෂ්ඨ වෘත්තීය නිපුණත්වය සහ කැපවීම අගය කරමින්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ‘සමුද්‍ර ප්‍රහාරී’ නෞකාවේ අණදෙන නිලධාරී කේ සිතාරාම් (DIG K Sitaram) වෙත සහ ‘වජ්රා’ නෞකාවේ අණදෙන නිලධාරී, ආඥාපති ඇලෙක්ස් තෝමස් (DIG Alex Thomas) වෙත මෙලෙස සේවය අගය කිරීමේ ලිපි ප්‍රදානය කිරීම අද දින (2021 ජුනි 10) කොළඹ වරාය පරිශ්‍රයේදී සිදු කරන ලදී.

තවද, මේ වන විට ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අ‍යත් ‘වෙබාව්’ (ICGS Vaibhav) නෞකාව නැවත මව්රට වෙත යාත්‍රා කර ඇති බැවින්, එහි අණදෙන නිලධාරී ආඥාපති සුරේශ් කුරුප් (Commandant Suresh Kurup) වෙත ප්‍රදානය කරන ලද සේවය අගය කිරීමේ ලිපිය ඔහු වෙත ලබා දීම සඳහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත ලබා දීමට කටයුතු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay) මහතා, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යා‍ලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් විකාස් සූඩ් (Captain Vikas Sood) ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.