13 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවික පුද්ගලයින් 2084ක් උසස් කෙරේ

13 වන රණවිරු සැමරුම් දිනයට සමඟාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ඇතිව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදා නිලධාරීන් 74 ක් සහ නාවිකයන් 2010ක් ඊලඟ නිලයට සහ තරාතිරමට උසස් කර ඇත.

වසර 30කට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය මුලිනුපුටා දමා, මව්බිමේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ස්ථාපිත කිරීම උදෙසා සිදු කළ මානුෂීය මෙහෙයුම සඳහා, වීරෝධාර නාවික හමුදා රණවිරුවන් සහෝදර හමුදාවන් සහ පොලිසිය සමඟ එක්ව ජීවිත පරිත්‍යාගයෙන් සිදුකළ දායකත්වය හේතුවෙන්, එම මානුෂීය මෙහෙයුම විජයග්‍රහණයකින් කෙළවර කිරීමට හැකිවිය.

ඒ අනුව, 13 වන රණවිරු සැමරුම් දිනයට සමඟාමීව ජ්‍යෙෂ්ඨ නිලධාරින් 09ක් සහ කණිෂ්ඨ නිලධාරින් 65ක් ඊලඟ නිලය දක්වාත්, නිත්‍ය සහ ස්වේච්ඡා අංශයන්ට අයත් විවිධ තරාතිරම් වල කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නාවිකයන් 2010ක් ඊලඟ තරාතිරම් දක්වාත් නාවික හමුදාධිපති විසින් මෙලෙස උසස් කර ඇත.