ජාතික රණවිරු සැමරුම් උළෙල අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අභියසදී

2022 ජාතික රණවිරු සැමරුම් උළෙල, සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (2022 මැයි 19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත්ව පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙවර ජාතික රණවිරු අණුස්මරණ සැමරුම් උළෙල සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ෂන පතිරණ, පොලිස්පති සීඩී වික්‍රමරත්න, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) රංජන් ලමාහේවාගේ, රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික) නන්දන සේනාධීර ඇතුළු ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ රණවිරු සේවා අධිකාරිය නියෝජනය කරමින් සීමිත පිරිසක් සහභාගී වී සිටින ලදී.

දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය මාතෘභූමියෙන් මුලිනුපුටා දමා දේශයේ උත්තරීතර නිදහස වෙනුවෙන් සිදු කළ මානුෂිය මෙහෙයුමේදී ජීවිත පරිත්‍යාග කළ සහ අතුරුදහන් වු විරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රණවිරු ස්මාරකය අභියස මල්කළඹක් තබා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කිරීමෙන් අනතුරුව, ආරක්‍ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුදාධිපතිවරු විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරන ලදී.