පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් රජමහා විහාරයේ අභිණවයෙන් ඉදිකරන ලද සම්බුද්ධ රාජ මණ්ඩපය සසුනට පූජා කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් රජමහා විහාරයේ අභිණවයෙන් ඉදිකරන ලද දැවමය සම්බුද්ධ රාජ මණ්ඩපයේ ඉහළ මාලය සසුනට පූජා කිරීම මහා සංඝ රත්නයේ ආශීර්වාද මධ්‍යයේ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහභාගීත්වයෙන් අද (2022 ජුනි 19) සිදුකෙරිණි.

ඒ අනුව, පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් විහාරාධිපති සහ පරිවේණාධිපති රාජකීය පණ්ඩිත මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වය හා මෙහෙයවීම මත විවිධ දානපතීන්ගේ අනුග්‍රහය යටතේ හා ශ්‍රී ලංකා නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද දැවමය සම්බුද්ධ රාජ මණ්ඩපය සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය මෙලෙස අද (2022 ජුනි 19) දින සිදුකෙරිණි.

තවද, නාවික හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් අළුත්වැඩියා කරන ලද පිරිවෙන් ගොඩනැඟිල්ල සසුනට පූජා කිරීම හා එම පිරිවෙන තුල ඉදිකරන ලද දෙමහල් දහම් පාසල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පත් කිරීමද මෙහිදී ඊට සමගාමීව සිදුකෙරිණී.

මෙම පුණ්‍ය අවස්ථාව සඳහා අස්ගිරි විහාර පාර්ශවයේ මහනායක ආචාර්ය අතිපූජ්‍ය ‍වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී ප්‍රඥානන්ද ඤාණරතනාභිධාන මාහිමිපාණන් වහන්සේ සහ මල්වතු විහාර පාර්ශවයේ අනුනායක ආචාර්ය අති පූජ්‍ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, දියවඩණ නිළමේ නිලංග දෑල බණ්ඩාර, යුද හමුදාධිපති, ගුවන් හමුදාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක අංශ නිලධාරීන්, සම්භාවනීය ආරධිතයන් සහ සැදැහැවතුන් පිරිසක් සහභාගී වී සිටියහ.