ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් අද (2022 දෙසැම්බර් 13) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

ඉන්දීය නාවික හමුදා ප්‍රධානී සය දින (06) නිල සංචාරයක් සඳහා 2022 දෙසැම්බර් මස 12 වන දින රාත්‍රියේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණි අතර, එහිදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඔහු උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

අද උදෑසන (2022 දෙසැම්බර් 13) නාවික හමුදා මූලස්ථානයට පිවිසි ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් ආර් හරි කුමාර්, බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර විසින් පිළිගැනීමෙන් අනතුරුව, ඉන්දීය නාවික හමුදා ප්‍රධානී වෙත විශේෂ සම්මාන මුරයක් මඟින් උත්තමාචාරය පිරිනමන ලදි. අනතුරුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඉන්දීය නාවික හමුදා ප්‍රධානී නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් පසු ඔහු වෙත නාවික හමුදා කළමණාකරන මණ්ඩලය හඳුන්වාදීමට කටයුතු කෙරිණි.

මෙම නිල හමුවේදී, ඉන්දීය නාවික හමුදා ප්‍රධානී සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති අතර ද්විපාර්ශ්වීය වශයෙන් දෙරටේ නාවික හමුදාවන්ට අදාල වැදගත් කරුණු සහ දෙරටේ දිගුකාලීන මිත්‍රශීලී සබඳතාවය පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වීමෙන් අනතුරුව, මෙම හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

මෙම නිල හමුව සනිටුහන් කරමින් ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් ආර් හරි කුමාර්, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති ඇතුළු නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන් සඳහා වු සමරු පොතෙහි සටහනක් තැබීමට ද කටයුතු කෙරිණි.

ඉන්දීය නාවික හමුදා ප්‍රධානී ගේ, මෙම නිල සංචාරයේදී ඔහු ගරු ජනාධිපති, ගරු අග්‍රාමාත්‍ය, ආරක්‍ෂක රාජ්‍ය ඇමති, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද සහ ගුවන් හමුදාධිපතිවරුන් හමුවීම ඇතුළු නිල හමුවීම් හා අවස්ථාවන් සඳහා සහභාගීවීමටත්, ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවැත්විමට නියමිත මධ්‍ය නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීමටත් නියමිතව ඇත.

තවද, සය දින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, 2022 දෙසැම්බර් මස 17 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.