සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 64 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 36 සහ 37 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 22 ක් සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ 62 සහ 63 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 42 ක් විසිර යාම හා අධිකාරියට පත් කිරීම 2022 දෙසැම්බර් මස 15 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ආරාධනයෙන්, ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් ආර් හරි කුමාර් ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, පැවැත්විණි.

ඒ අනුව, සාර්ථකව පුහුණුව අවසන් කල ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 36 සහ 37 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 22 ක් සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ 62 සහ 63 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 42 දෙනෙකු නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති අභිමානවත් අධිකාරියට පත්කිරීමේ පෙළපාලිය අවසන තම දෙමව්පියන් සහ සම්භාවනීය අමුත්තන් ඉදිරියේ විසිර යන ලදී.

පුහුණුවීම් කාලසීමාව තුළදී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ මධ්‍ය නිලධාරීන් හට ඉන්දීය නාවික හමුදා ප්‍රධානී විසින් එහිදී විශේෂ සම්මාන ප්‍රදානය කෙරිණි. ඒ අනුව, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 37 වන බඳවා ගැනීමේ දක්‍ෂතම මධ්‍ය නිලධාරියාට හිමි අසිපත සහ වෘත්තීය විෂයයන් ගෙන් හා සියළු විෂයයන් ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි සම්මාන කාන්තා මධ්‍ය නිලධාරී ඩීඑම්එස්පී ජයලත් විසින් හිමි කර ගන්නා ලදි. එමෙන්ම, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මධ්‍ය නිලධාරී ඒඒඑස්එස් බංඩාර විසින් හිමිකර ගන්නා ලද අතර, හොඳම ඉලක්කකරුට හිමි සම්මානය කාන්තා මධ්‍ය නිලධාරී එම්එන් මදුශානී විසින් හිමි කර ගන්නා ලදී.

එමෙන්ම, 63 වන බඳවා ගැනීමේ දක්‍ෂතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත සහ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මධ්‍ය නිලධාරී පීඑම්කේඑච්එස් සෙනවිරත්න විසින් හිමි කරගන්නා ලද අතර, සියළු විෂයයන් ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි සම්මානය මධ්‍ය නිලධාරී, ටීඑම්ඩීඑම් තෙන්නකෝන් විසින්ද, වෘත්තීය විෂයයන් ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි සම්මානය මධ්‍ය නිලධාරී ඩීජීඑස් අවන්ද්‍ය විසින්ද, නාවික විෂයයන් ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි සම්මානය මධ්‍ය නිලධාරී ආර්පීඑන්එන් රාජපක්‍ෂ විසින් සහ හොඳම ඉලක්කකරුට හිමි සම්මානය මධ්‍ය නිලධාරී ආර්ඒඑන්ඒජේ රණසිංහ විසින්ද හිමිකර ගන්නා ලදි.

මෙහිදී අධිකාරියට පත් නිලධාරීන් ඇමතූ ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, මෙම ආකර්ෂණීය විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවීමට ලැබීම භාග්‍යයක් කොට සලකන බවත්, එම අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත ස්තූතිවන්ත වන බව පවසමින් අධිකාරියට පත් මධ්‍ය නිලධාරීන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනැමීමට කටයුතු කෙරිණි.

මෙහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, විසිර යන නිලධාරීන් නාවික හා සාගරික විද්‍යාපීඨයේ ලද විධිමත් පුහුණුවේ නිමාව සනිටුහන් කරනවා පමණක් නොව පුහුණුව තුලින් වැඩිදියුණු කරගන්නා ලද හැකියාවන්, නිපුණතාවයන්, උසස් චරිතය සහ කුසලතා පිළිබිඹු කිරීමක්ද වන බවත්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනාගතය භාර ගැනීම සඳහා එවැනි දක්‍ෂ නිලධාරීන් පිරිසක් නාවික හමුදාවට දායාද කිරීම සඳහා කැපවූ නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති ඇතුළු පුහුණු උපදේශක මණ්ඩලය වෙත සිය ගෞරවය පිරිනමන බවත් පවසන ලදි.

එමෙන්ම, මව්බිම සුරැකීම සඳහා ලෝකයේ වෙනත් වෘතීන්ට වඩා වෙනස්, අභියෝගාත්මක සහ ගෞරවනීය වෘත්තියක් වෙනුවෙන් තම දරුවන් නාවික හමුදාවට භාරදුන් අධිකාරියට පත් නිලධාරීන්ගේ දෙමව්පියන් හට ප්‍රශංසාව හිමිවිය යුතු බවත්, තම දරුවන් මෙවැනි සුවිශේෂී වෘත්තියක් සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් දෙමව්පියන් ආඩම්බර විය යුතු බවත් පවසන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදා ශීෂ්‍ය භට නිලධාරීන් ද ඇතුලත් ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලයේ විසිර යාමේ පෙළපාලියක් පසුගියදා නිරීක්‍ෂණය කල බව පැවසූ ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, දෙරටේ නාවික හමුදා පුහුණු ආයතන තුල උපදේශක හුවමාරුව යටතේ නිලධාරීන් උපදේශක රාජකාරීන් සිදුකරන බවත්, මෙවැනි දෑ තුලින් දෙරටේ නාවික හමුදාවන් අතර ගොඩනැගෙන විශ්වාසය හා වෘත්තීය භාවය තුලින් වත්මන් ආරක්‍ෂක අභීයෝග සඳහා සාර්ථකව මුහුණදිය හැකි බවත් පවසන ලදි. සාම්ප්‍රදායිකව ගොඩබිම, මුහුද සහ ගුවන තුලින් එල්ලවන අභියෝගයන් ගෙන් ඔබ්බට ගොස් බහුවිධ දේශසීමා ආරක්‍ෂා කළ යුතු වාතාවරණයක් දක්වා වත්මන් ආරක්‍ෂක අභීයෝග පැමිණ ඇති බව පැවසූ ඔහු, භෞතික අවකාශය අභිබවා සයිබර් අවකාශය දක්වා පුළුල් පරාසයක පැතිරුනු එක් ජාතියකට පමණක් සීමා නොවන කලාපීය හෝ මහද්වීප දක්වා බලපාන එම ආරක්‍ෂක අභියෝග ඉදිරියේදී ජයගැනීම සඳහා දෙරටේ මෙම දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීත්වය මහත් පිටුවහලක් ගෙනදෙනු ඇති බවත් ඒ සඳහා දෙරටේ ගැඹුරු සංස්කෘතික බැඳීම් සහ මිත්‍රත්වයේ බැඳීම් වැඩිදුරටත් හේතුවනු ඇති බවත් පවසන ලදි.

අවසාන වශයෙන් විසිර යන නිලධාරීන් ඉදිරියේදී තම වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීම සඳහා පුහුණුව තුලින් ලද නායකත්ව හැකියාවන් වැඩිදියුණු කරගනිමින් තම කණ්ඩායමට සහ නාවික හමුදාවට නායකත්වය දියයුතු බවත්, එමඟින් තම මව්බිම සුරැකීම සඳහා කැපවිය යුතු බවත්, පැවසූ ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් ආර් හරි කුමාර්, මෙම විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට අවස්ථාව ලබාදුන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත නැවත වාරයක් ස්තූතිය පළකරන බව පවසන ලදි.

නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබූ විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශණයකින් සහ නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත් කරන ලද සංදර්ශනයකින් අනතුරුව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කරන ලද හිරු අස්ථවිය චාරිත්‍රයත් සමඟින් අධිකාරියට පත් කිරීමේ උළෙල නිමාවට පත්විය.

මෙම අධිකාරියට පත් කිරීමේ උත්සවය සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මහත්මිය, ඉන්දීය නාවික හමුදා ප්‍රධානීගේ මැතිණිය වන කලා හරී කුමාර් මහත්මිය, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් මහින්ද මහවත්ත ඇතුළු නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා විධාන ආඥාපතිවරුන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති ‍කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු ඇතුළු ධජ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානයේ මෙන්ම නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සම්භාවනිය අමුත්තන් සහ විසිර යන නිලධාරීන්ගේ දෙමව්පියන් පිරිසක් සහභාගීවී සිටියහ.