නාවික හමුදාධිපති ගේ අළුත් අවුරුදු සුභ පැතුම් පණිවුඩය

නැවුම් අභිප්‍රායන් සමඟින් පා තබන 2023 නව වසර නාවික, නාවික සිවිල් ඔබ සැමටත්, ඔබගේ පවුල්වල සියලු දෙනාටත් තම ප්‍රාර්ථනාවන්, අභිප්‍රායන් ඉටුවන සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවායි නාවික හමුදාධිපති වශයෙන් මා ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

වසරක් ගෙවී නව වසරක උදාවත් සමඟ අධිෂ්ඨාන සහගත ගමනක් යාමට අපේක්ෂාවන් ඔබ තුල ගොඩනැගී ඇති බව මා දනිමි. සියලුතැන්හි ඔබගේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔබ තුල ගොඩනැගෙන්නාවූ ආත්මවිශ්වාසය, ආත්මශක්තිය සහ නොපසුබස්නා උත්සාහය මත බැව් ඔබ තරයේ සිතට ගතයුතු බව මා ප්‍රකාශ කර සිටිමි. තවද නාවික හමුදාවේ උන්නතිය සහ ජයග්‍රහණය වෙනුවෙන් ඔබගේ නැවුම් අදහස් සහ ආකල්පයන් මා නිරතුරුවම අපේක්‍ෂා කරමි.

ගෙවීගිය 2022 වර්ෂය නැවත ආවර්ජනය කරන විට අප සියලු දෙනා හට රට තුල උද්ගතවු සමාජීය සහ ආර්ථික අර්බුද හමුවේ අභියෝගාත්මක වසරක් වුවද එකී බාධක අභිබවා යමින් අපගේ අභිප්‍රායන් රටක් වශයෙන් ඉටුකරගැනීමට, පුද්ගලයන් වශයෙන් මෙන්ම හමුදාවක් වශයෙන් දැක් වූ දායකත්වය, කැපවීම, උනන්දුව සහ අභියෝග ජයගැනීමේ හැකියාව පිළිබඳ මා ඉතා සතුටට පත්වෙමි.

72 වසරක පෞඩ ඉතිහාසයකට උරුමකම් ලත් අභිමානවත් ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් වන අප සියලු දෙනා තවදුරටත් මාතෘභූමියෙහි උන්නතිය උදෙසා අප වෙත පැවරි ඇති කාර්යයභාරයන් මෙන්ම වගකීම් නව වසරේද නොපිරිහෙලා අවංකව හා කැපවීමෙන් ඉටු කිරීමට අදිටන් කරගත යුතු අතර, ඒ සඳහා අවශ්‍ය ශක්තිය සහ ධෛර්ය නිරතුරුව ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි. එසේම මානූෂීය මෙහෙයුමේ දී සතුරා පරාජය කිරීම උදෙසා ජාතිමාමකත්වයෙන් යුතුව ඉමහත් කැපවීමක් දැක්වු නාවික නිලධාරින් සහ නාවිකයන් සැලකිය යුතු සංඛ්‍යාවක් තවදුරටත් සේවයේ නිරත වන අතර එම කැපවීම මා ඉතා සාඩම්බරව මේ අවස්ථාවේදී සිහිපත් කරමි.

රට පෙරට තැබීම නාවික පුද්ගලයන් ලෙස අපගේ ප්‍රථම රාජකාරිය සහ වගකීම වේ. ඔබ තුල පවතින්නාවූ හැකියාවන් සහ දක්ෂතාවයන් උපයෝගීකර ගනිමින් නාවික හමුදාව විජයග්‍රාහී මාවතකට යොමු කිරීම ඔබ සියලුදෙනාගේම වගකීමක් බව මා සිහිපත් කරන අතර සහසම්බන්ධතාව සහ සහයෝගීතාවයෙන් යුක්තව ජ්‍යෙෂ්ඨයන් තම කණිෂ්ඨයන් වගකීමෙන් යුක්තව ඔවුන් වෙත පැවරී ඇති රාජකාරීන් වෙත අනියුක්ත කිරීමද ඔවුන්ගේ රාජකාරීන් නිසිලෙස අධීක්‍ෂණය කිරීමද අතිශය වැදගත්වේ. සයුර තුල අපගේ කාර්යභාරයන් මැනවින් ඉටුකිරීමෙහිලා අප දක්‍ෂයන් විය යුතුය. අප වෙත සාගරය හරහා එල්ල වෙතැයි අපේක්‍ෂා කල හැකි තර්ජනයන්ගෙන් රට සුරක්‍ෂිත කරගැනීමේ උදාරතර අරමුණ ඇතිව රට වෙනුවෙන් වූ අපගේ යුතුකම ඉටුකරමින් ‘ස්ථායි සාගර කලාපයක් නිර්මාණය කිරිම’ යන උදෘත පාඨය පෙරදැරිව කටයුතු කිරීම උදෙසා නව වර්ෂයේ පෙළ ගැසෙමු.

දැනට රට තුල උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ නිසි මුල්‍ය කළමණාකරනයකින් යුක්තව තම ආදායම් සහ වියදම් මනාව පාලනය කරගැනීමේ ඇති වැදගත්කමද මා ඔබ සියලු දෙනා වෙත අවධාරණය කරමි.

නව අභියෝගයන් අභියස නාවික හමුදා පුද්ගලයෙකු වශයෙන් ඔබගේ කැපවීම, උත්සාහය, විනයගරුක බව, සාමුහිකත්වය, සහජීවනය, අන්‍යෝන්‍ය අවබෝධය මෙන්ම ඔබ තුල ගොඩනගා ගන්නා ධනාත්මක සිතුවිලි සහ ආදර්ශමත් නායකත්වය සුවිශාල කාර්යභාරයක් ඉටුකරනු ඇත.

තවද, ඔබ සැමට සහ ඔබගේ පවුල්වල සියලුම සාමාජිකයින් හට නිදුක් නීරෝගී සුවය, ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවායි මා ඇතුලු මාගේ පවුලේ සියලු දෙනා ප්‍රාර්ථනා කරසිටින්නෙමු.