ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දී නව වසරේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා නාවික හමුදාව උදා වූ 2023 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමට පෙර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 ජනවාරි 02) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී, රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.

ඒ අනුව, දේශය වෙනුවෙන් දිවි කැප කළ වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව නව වසර සඳහා රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට සහභාගී වූ නාවික හමුදා පුද්ගලයින් ඇමතූ නාවික හමුදාධිපති, ලැබුවා වූ 2023 නව වසර වෙනුවෙන් සියළුම නාවික පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට සහ නාවික සිවිල් සේවක මහත්ම මහත්මීන් හට සුභාශිංසන පිරිනමන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ගෙවීගිය 2022 වසර ලංකාවාසී සැම දෙනාටම අභියෝගාත්මක වසරක් වූ බවත්, විනයගරුක නාවික හමුදා සාමාජිකයන් ලෙස එම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දී රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට නාවික පුද්ගලයන් ලෙස දක්වන ලද කැපවීම අගය කරන බවත්, ඉදිරියටත් එලෙස කැපවීමෙන් ස්ථායී රටක් නිර්මාණය කිරීම සඳහා අප සැමට දායකත්වය ලබා දිය හැකි බවත් ප්‍රකාශ කරන ලදි.

එමෙන්ම, පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ ශ්‍රී ලාංකිකයින් වන අප සැමට අභියෝග හමුවේ නොසැලී මාතෘ භුමියේ සංවර්ධනයේ විජයග්‍රාහී මාවත වෙත කැඳවා ගෙන යාම‍ට අවශ්‍ය ශක්තිය මෙන්ම ධෛර්යය නොඅඩුව පවතින බවත්, ‘ සියවසට පියවරක්’ යන තේමාව යටතේ 2023 වර්ෂයේ සිට 2048 වර්ෂය දක්වා ඉදිරි 25 වසර සඳහා වන රජයේ සංවර්ධන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා නාවික හමුදාවට පැවරී ඇති වගකීම නිසි ලෙස ඉටු කිරීමට සියළු දෙනා අධිෂ්ඨාන කර ගත යුතු බවත් ප්‍රකාශ කර සිටින ලදි.

ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාවට පැවරෙන කාර්යභාරය පසුගිය 2022 වසරේ ඉතාමත් වගකීම් සහගතව ඉටු කිරීමට කටයුතු කළ බව ප්‍රකාශ කළ නාවික හමුදාධිපති, එහි ප්‍රතිඵලයක් ලෙස අනවසර සංක්‍රමණික කටුයුතු සීමා කිරීමටත්, මුහුදු මඟින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කල මත්ද්‍රව්‍ය සහ තහනම් භාණ්ඩ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුනු බවත්, නාවික හමුදාවේ එම කාර්යභාරය 2023 වසරේදීද අඛණ්ඩව ඉටු කිරීමට කැපවීම, සියළුම නාවික පුද්ගලයින් වෙතින් අපේක්‍ෂා කරන බවත් පවසන ලදී.

නාවික හමුදා මූලස්ථානයේ පැවති රාජ්‍ය ප්‍රතිඥාව ලබාදීමේ අවස්ථා‍ව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්‍වරුන්, ධජ නිලධාරීන් ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ ‍නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් පිරිසක් සහභාගි වී සිටියහ. මීට සමගාමීව සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි නාවික හමුදා පුද්ගලයන්, රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.