මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන දේශීය බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් 10 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 ජනවාරි මස 05 වන දින බේරුවල ප්‍රදේශයට බටහිර මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 23 යි ග්‍රෑම් 235 තොගයක් (ඇසුරුම් බර සහිත) සමඟ අත්අඩංගුවට ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් ගෙන් අනාවරණය වූ තොරතුරු මත, ශ්‍රී ලංකාවට බටහිර මුහුදේ සිදුකල විශේෂ මෙහෙයුමකදී මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ සැකකරුවන් දහයක් (10) නාවික හමුදා භාරයට ගත් අතර, එම බහුදින ධීවර යාත්‍රා සහ සැකකරුවන් අද දින (2023 ජනවාරි 16) කොළඹ වරායට රැගෙන ඒමට ක‍ටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පවත්වා ස්ථායී සාගර කළාපයක් පවත්වා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර ආවේක්‍ෂණ සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි. නාවික හමුදාව අනෙකුත් බුද්ධි සේවාවන් හා එක්ව සිදුකල බුද්ධි මෙහෙයුමකට අනුව දේශීය බහුදින ධීවර යාත්‍රා ගණනාවක් මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ජාවාරමට සම්බන්ධ බවට අනාවරණය වී ඇත. ඒ අනුව, නාවික හමුදාව 2023 ජනවාරි මස 05 වන දින බේරුවල ප්‍රදේශයට බටහිර මුහුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා වික්‍රම II නෞකාව යොදවා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, Kingfisher - 6 නමැති බහුදින ධීවර යාත්‍රාව (ලියාපදිංචි අංක IMUL–A–1610–MTR) පරික්‍ෂාවට ලක්කර, එම ධීවර යාත්‍රාවේ පාර්සල් 22 ක සූක්‍ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 23 යි ග්‍රෑම් 235 ක තොගයක් (ඇසුරුම් බර සහිත) සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) සහ එම බහුදින ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

එම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන බවට සැකකෙරෙන ලියාපදිංචි අංක IMUL–A–1888–MTR දරණ Kingfisher - 8 නමැති බහුදින ධීවර යාත්‍රාව සහ ලියාපදිංචි අංක IMUL–A–2029–MTR දරණ Kingfisher - 3 යන දේශීය බහුදින ධීවර යාත්‍රා දෙක (02) 2023 ජනාවරි මස 07 සහ 08 දිනයන්හීදී ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව මඟින් නාවික හමුදා භාරයට ගන්නා ලදි. එහිදී සිදුකල පරික්‍ෂාවේදී, එම බහුදින ධීවර යාත්‍රා වෙත ගැඹුරු මුහුදේදී හුවමාරු කරගත් මත්ද්‍රව්‍ය නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මුහුදු බත් කල බවට සැකකරුවන් ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් හමුවේ එම සැකකරුවන් විසින් පිළිගන්නා ලදි. එමෙන්ම බහුදින ධීවර යාත්‍රාවන්ගේ Radar ‍Dome කොටසේ ඇතුලත කොටස් ඉවත් කර එහි මත්ද්‍රව්‍ය සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කිරීම නව උපායක් ලෙස ජාවාරම්කරුවන් යොදා ගන්නා බවටද සැකකරුවන් ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් හමුවේ වැඩිදුරටත් අනාවරණයවී ඇත.

ඒ අනුව, නාවික හමුදා භාරයට ගෙන අද දින (2023 ජනවාරි 16) කොළඹ වරායට රැගෙන ආ බහුදින ධීවර යාත්‍රා දෙක (02) මේ වන විට වැඩිදුර පරීක්‍ෂාවට ලක්කෙරෙමින් පවතින අතර, මෙම බහුදින යාත්‍රා සහ සැකකරුවන් දස දෙනා (10) ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතව ඇත.

තවද, මෙරටින් මත්ද්‍රව්‍ය පිටුදැකීමේ ගරු ජනාධිපතිතුමාගේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම උදෙසා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා නිවැරදි මඟපෙන්වීම මත, මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව, ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන පුද්ගලයන් සහ බහුදින ධීවර යාත්‍රා නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරනු ලබයි.