මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී Siri Bjune මහත්මිය (Head of Global Maritime Crime programme of United Nations Office on Drugs & Crime) ඇතුළු දූත පිරිසක් නිල හමුවක් සඳහා අද දින (2023 පෙබරවාරි 24) නාවික හමුදා මූලස්ථානයේදි, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන යටතේ 2023 වර්ෂයේදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් සිදු කෙරෙන පුහුණු වැඩසටහන් සම්බන්ධයෙන් මෙම හමුවේදි නාවික හමුදාධිපති සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානි අතර ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරුවක් සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිගේ නාවික සහයක, කොමදෝරු කෝසල වර්ණකුලසූරිය ද සහභාගි විය.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය මඟින් මත්ද්‍රව්‍ය, අපරාධ, දූෂණය සහ ත්‍රස්තවාදයෙන් ලොව සුරක්ෂිත කර ගෝලීය සාමය සහ ආරක්ෂාව ඇති කිරීම සඳහා දායකත්වය දක්වනු ලබන අතර, ඒ යටතේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන මඟින් සාමාජික රටවල සමුද්‍රීය වපසරිය තුළ සිදුවන සමුද්‍රීය අපරාධ මැඩ පැවැත්වීම සඳහා සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ගොඩනැඟීම සඳහා පුහුණු වැඩසටහන් පවත්වනු ලබයි.

තවද, මෙම පුහුණු වැඩසටහන යටතේ දේශීය හා ‍විදේශීය සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ ආයතන වෙනුවෙන් නෞකා වෙත ප්‍රවිශ්ඨ වීම පරික්‍ෂා කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදයන් හා සම්බන්ධ පුහුණු පාඨමාලාවන් (Visit Board Search & Seize – VBSS) 2016 වර්ෂයේ සිට ත්‍රිකුණාමලය, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ දි පැවැත්වෙන අතර, මේ වන විට එවැනි පුහුණු පාඨමාලා 29 ක් සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කර ඇත.