දකුණු මුහුදේදී ආපදාවට පත් විදේශීය යාත්‍රාවක් අළුත්වැඩියාව සඳහා නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (MRCC - Colombo) සම්බන්ධීකරණයෙන්, සමුද්‍රීය පර්යේෂණ කාර්යයක නිරත වෙමින් සිටියදී, දෝෂයක් හේතුවෙන් දකුණු මුහුදේදී ආපදාවට පත්වූ නවසීලන්තයට අයත් ‘Little Donkey’ නැමැති පැදි යාත්‍රාව එහි සිටි විදේශීය ජාතිකයින් දෙදෙනෙකු (02) සමඟ අළුත්වැඩියාව සඳහා 2023 ‍මාර්තු මස 02 වන දින නාවික හමුදාවේ සහයෙන් නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.

නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් කළාපයේ ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු නිරන්තරයෙන් සිදු කරනු ලබයි.

ඒ අනුව, පර්යේෂණ කාර්යයක් වෙනුවෙන් බෙංගාල බොක්ක මුහුදු තීරය තුළින් ක්ෂුද්‍ර ජීවි සාම්පල ලබා ගැනීම සඳහා තායිලන්තයේ සිට පැමිණි (To collect high quality microbiological samples for DNA analysis to support Ocean Health Baseline global assessment) පැදි යාත්‍රාවක, පැදි පද්ධතියේ (Pedal based rowing system) ඇති වූ දෝෂයක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු (02) රැගත් එම යාත්‍රාව, ශ්‍රී ලංකාවට දකුණින් වූ මෙරට සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් කළාපය තුලදී ආපදාවට පත් වී ඇති බවත්, එම යාත්‍රාව යථා තත්වයට පත් කිරීම සඳහා ගොඩබිම වෙත ඇදගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබා දෙන ලෙස, එහි දේශිය නි‍යෝජිතයින් මඟින් කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ආපදා සහන ඉල්ලීමක් 2023 ‍මාර්තු මස 02 වන දින යොමු කිරීමට කටයුතු කරනු ලැබ ඇත.

එම ඉල්ලීමට, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බළඝණයට අයත් පී 483 වේග ප්‍රහාරක යාත්‍රාව ආපදාවට පත් යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමු කරන ලදි. ඒ අනුව, පී 483 වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් ආපදාවට පත් එම පැදි යාත්‍රාව සහ එහි සිටි විදේශීය ජාතිකයින් දෙදෙනා 2023 මාර්තු මස 02 වන දින රාත්‍රිය වන විට නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ - සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් කලාපීය සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සමඟ සම්බන්ධීකරණය වෙමින්, මුහුදේදී ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත අවශ්‍ය සහන සැලසීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරනු ලබන අතර, එලෙස ආපදාවට පත් වූ විදේශිය යාත්‍රා 35 ක් වෙත පසුගිය වර්ෂයේදී (2022) කොළඹ - සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය සහන සැලසීමට ක‍ටයුතු කර ඇත.