තහනම් මත් ද්‍රව්‍ය තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අගෝස්තු 11 වන දින පේදුරු තුඩුවට නාවික සැතපුම් 22 කට පමණ ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා ලෙස හඳුන්වන මත් ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි .

මුහුදු මාර්ග ඔස්සේ සිදු කරනු ලබන තහනම් භාණ්ඩ සහ පුද්ගල ජාවාරම් කටයුතු මර්දනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දියත්කොට ඇති අඛණ්ඩ මෙහෙයුම් මගින් සැක කටයුතු යාත්‍රා නිරන්තරයෙන් පරීක්‍ෂාවට ලක් කරන අතර, පවත්නා බුද්ධි තොරතුරු මත ජාවාරම් මැඩලීමේ මෙහෙයුම් ගොඩබිම සහ මුහුදු ප්‍රදේශ ඒකාබද්ධව ආවරණය වන පරිදි සිදු කිරීමට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවික විධානයේ ආඥාපතිතුමන්ගේ අධීක්‍ෂණය යට‍තේ උතුරු නාවික විධානය කටයුතු කරනු ලබයි. ඒ අනුව, වේග ප්‍රහාරක මුර යාත්‍රා යොදා ගනිමින් දියත් කරන ලද තවත් එක් ඉලක්ක ගත සාර්ථක නාවික මෙහෙයුමක් හේතුවෙන් මුහුදු මගින් මත් ද්‍රව්‍ය ගොඩබිමට රැගෙන ඒමට ජාවාරම්කරුවන් විසින් ගත් උත්සහයක් ව්‍යර්ථවීමෙන්, ජාවාරම්කරුවන් විසින් පේදුරු තුඩුවට උතුරෙන් නාවික සැතපුම් 22 ක් පමණ ( කිලෝමීටර් 40 ක් පමණ) දුර මුහුදේ අතහැර ගොස් තිබූ ගෝණි මලු හයක (06) අසුරන ලද කේරළ ගංජා ලෙස හඳුන්වන මත් ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි. නාවික හමුදා භාරයට ගත් එම මත් ද්‍රව්‍ය තොගය තෙත බර සහිතව කිලෝග්‍රෑම් 275කට අධික වෙතැයි ගනන් බලා ඇත.

නාවික හමුදා භාරයට ගන්නා ලද මෙම මත්ද්‍රව්‍ය තොගය පවතින කොවිඩ් - 19 වසංගත තත්වය හේතුවෙන් ලබා දී ඇති සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව විෂබීජහරණය කිරීමෙන් පසු ඉදිරි විමර්ශන කටයුතු සඳහා පේදුරුතුඩුව පොලීසිය වෙත භාර දුන් අතර, මෙම මත් ද්‍රව්‍ය රැගෙන ආ යාත්‍රාව සහ ජාවාරම්කරුවන් සොයා මේ වන විටත් නාවික මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී.