නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එන ලද කහ කිලෝග්‍රෑම් 57 කට අධික ප්‍රමාණයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එන ලදැයි සැක කෙරෙන වියලි කහ සහිත ගෝනි මලු දෙකක් (02) මන්නාරම ඕලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ සඟවා තිබියදී අද (2020 අගෝස්තු 13) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

අනවසර පුද්ගලයින් මෙරටට සංක්‍රමණය වීම සහ නීති විරෝධී බඩු බාහිරාදිය මෙරටට ගෙන ඒම වැළැක්වීම සඳහා නාවික හමුදාව විශේෂ අවධානය යොමු කර මුර සංචාර සිදු කරනු ලබයි. එලෙස උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් මන්නාරම ඕලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී වෙරළට සමීපව පඳුරු අතර සඟවා තිබූ ගෝනි මලු දෙකක් පරික්‍ෂා කිරීමේදි වියලි කහ කිලෝග්‍රෑම් 57.2 ක පමණ ප්‍රමාණයක් සොයා ගන්නා ලදි. මීට පෙර අවස්ථාවකදී ද නාවික හමුදාව මෙම ප්‍රදේශයේදීම නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ගෙන එන ලදැයි සැක කෙරෙන කිලෝ 999 ග්‍රෑම් 500 ක පමණ කහ තොගයක් නාවික හමුදා භාරයට ගත් අතර, අද දින නාවික හමුදා භාරයට ගත් කහ ප්‍රමාණයද නීති විරෝධි ලෙස මෙරටට ගෙන එන ලදැයි සැක කෙරේ.

නාවික හමුදා භාරයට ගත් කහ ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.