අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 696ක් සමඟ සැකකරුවන් 04ක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ කතරගම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව තිස්සමහාරාමය, පන්නේගමුව සහ දෙබරවැව ප්‍රදේශයන්හි 2020 සැප්තැම්බර් 02 වන දින සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් (ක්‍රිස්ටල් මෙතම්පිටමයින්) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 696ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තහනම් මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා නිරන්තර මෙහෙයුම් දියත් කරමින් සිටින නාවික හමුදාව 2020 සැප්තැම්බර් 02 වන දින දකුණු නාවික විධානය හා කතරගම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව තිස්සමහාරාමය, පන්නේගමුව ප්‍රදේශයේ සිදු කල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු (02) පරීක්‍ෂාකර ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 09ක පමණ ප්‍රමාණයක් සොයා ගන්නා ලද අතර, සැකකරුවන්ගෙන් කල ප්‍රශ්න කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06ක පමණ ප්‍රමාණයක් සමඟ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගන්නා ලදි. පසුව සිදු කල වැඩිදුර ප්‍රශ්න කිරීමේදී විකිණීම සඳහා යතුරු පැදියකින් රැගෙන යමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 681ක පමණ ප්‍රමාණයක් සමඟ තවත් සැකකරුවකු තිස්සමහාරාමය, දෙබරවැව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගන්නා ලදි. ඒ අනුව මෙම සමස්ථ මෙහෙයුමේදී විකිණීම සඳහා ලඟ තබාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 696ක්, සැකකරුවන් 04ක් සහ යතුරු පැදියක් අත් අඩංගුවට ගැනීමට හැකිවිය.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් එම ප්‍රදේශයන්හිම පදිංචි කරුවන් වන බවට හඳුනාගෙන ඇති අතර, අදාල සැකකරුවන්, අයිස් මත්ද්‍රව්‍ය සහ යතුරු පැදිය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා තිස්සමහාරාම පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.