මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 04 වන දින 0600 පැයට “පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

2020 සැප්තැම්බර් 03 වන දින උදෑසන 0800 පැයට පමණ එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පැතිරීම පාලනය කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය සහ ඉන්දියානු නාවික හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඒකාබද්ධව තවදුරටත් කටයුතු කරමින් සිටී.

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මෙම ගින්න පාලනය කිරීම සඳහා ගුවනින් ජලය දැමීමේ ගුවන් මෙහෙයුම් වාර අද උදෑසන සිට නැවතත් අඛණ්ඩව සිදු කරමින් පවතින අතර, බීච් ක්‍රාෆ්ට් යානාව මගින් ගින්නේ පැතිරීම ගුවනින් නිරීක්‍ෂණ කර අවශ්‍ය සහාය තවදුරටත් ලබා දෙමින් සිටී.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර, සිඳුරළ සහ රණරිසි නෞකා සමගින් වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් තවදුරටත් මෙම ආපදා තත්වය කළමණාකරණය කිරීමේ මෙහෙයුමේ නිරතවන අතර, ආපදාවට පත් නෞකාවේ පසුපස මෙහෙයුම් මැදිරි කොටසේ සිට නෞකාවේ බොරතෙල් ගබඩා සංචිත වෙත ගින්න පැතිරීම මේ වනවිට පාලනය කර ඇත. එමෙන්ම, මෙම ගින්න පාලනය කිරීමෙන් පසු හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයට (Hambanthota International Port Group) අයත් රාවණා හා වසඹ යන ටග් යාත්‍රාවන්ද, ආපදාවට පත්වූ නෞකාව අයත් විදේශීය සමාගම මගින් සූදානම් කරන ලද ALP Winger නම් ටග් යාත්‍රාවද යොදා ගනිමින් මෙම නෞකාව ගැඹුරු මුහුද වෙත රැගෙනයාමට සැළසුම් කර ඇත.

තවද, මෙම නෞකාවේ ඇති වූ ගින්න නෞකාවේ තෙල් සංචිත ගබඩා කර ඇති කොටස වෙත පැතිරීම පාලනය කර ඇති බැවින්, එම නෞකාවෙන් මුහුදට තෙල් කාන්දු වීමේ කිසිදු අවදානමක් මේ වන තෙක් ඇති වී නොමැත. එමෙන්ම ගින්න පාලනය කිරීම සඳහා අවශ්‍ය තවත් ගිනි නිවීමේ රසායනික ද්‍රව්‍ය රැගත් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක් සහ වේග ප්‍රහාරක යාත්‍රාවක් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත මේ වනවිට කඩිනමින් ළඟා වෙමින් පවතී.