නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 සැප්තැම්බර් 05) මාරවිල වෙරළතීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩිකොළ කිලෝග්‍රෑම් 506 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

බටහිර නාවික විධානය මගින් මාරවිල වෙරළතීරයේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී ඩිංගි යාත්‍රාවක් මගින් මෙරටට රැගෙන එන ලද ගෝනි මලු 16 ක අසුරා තිබූ බීඩි කොල කිලෝග්‍රෑම් 506 ක පමණ ප්‍රමාණයක් වෙරළතීරයට ගොඩබාන අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. තවද මෙහිදී අදාල බීඩි කොල තොගය රැගෙනයාම සඳහා වෙරළ තීරයට පැමිණ සිටි ගැනුම් කරුවන් සිව් දෙනෙකු (04) සමඟ ලොරි රථයක් ද නාවික හමුදා භාරයට ගැනිණි.

ශ්‍රී ලංකාවේ දුම්පානය කරනු ලබන අඩු ආදායම්ලාභී ග්‍රාමීය සහ නාගරික ප්‍රජාව මෙන්ම ධීවර ප්‍රජාව අතර, බීඩි නිශ්පාදන සඳහා ඉල්ලුමක් ඇති අතර, බීඩි කොල සහ දුම්කොළ භාවිතා කර බීඩි එතීමේ ගෘහ ආශ්‍රිත කර්මාන්තයක් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක සිදුවේ. කිසිදු සෞඛ්‍යාරක්‍ෂිත ප්‍රමිතියක් නොමැති මෙම නිශ්පාදන අධෛර්යමත් කිරීම සඳහා වරින් වර ගන්නා ලද ප්‍රතිපත්තීමය තීන්දු හේතුවෙන් මෙලෙස නීති විරෝධී මාර්ග ඔස්සේ බීඩිකොල ශ්‍රී ලංකාවට ගෙන ඒමට ජාවාරම්කරුවන් පෙළඹී ඇති අතර, අඩු ආදායම් ලාභී ග්‍රාමීය සහ නාගරික ප්‍රජාව මෙන්ම ධීවර ප්‍රජාව අතරද ජනප්‍රිය මෙම බීඩි භාවිතය සෞඛ්‍යට ඉතාමත් අහිතකරය.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් පේසාලේ, පන්නල සහ එළුවන්කුලම යන ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 18 ත් 50 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් බවට හදුනාගෙන ඇති අතර, අදාල සැකකරුවන්, බීඩිකොල තොගය, ඩිංගි යාත්‍රාව සහ ලොරි රථය පවතින කොවිඩ් - 19 අවදානම් තත්වය යටතේ සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති සෞඛ්‍යාරක්‍ෂිත උපදෙස් අනුගමනය කරමින් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මාරවිල පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.