මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 06 වන දින 1830 පැයට “New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිව තිබූ ගින්න පෙර දින (2020 සැප්තැම්බර් 06) සවස 1500 පැය වන විට සම්පූර්ණයෙන් පාලනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් විය. කෙසේ වෙතත් නෞකාවේ අභ්‍යන්තරයේ පවතින අධික උෂ්ණත්වය හා පාරිසරික සාධක හේතුකොටගෙන නැවතත් ගින්න ඇතිවීමේ සම්භාවිතාවයක් පවතින හෙයින් ආපදා කළමණාකරනය සඳහා යොමු කරන ලද නෞකා සහ යාත්‍රා යොදා ගනිමින් තවදුරටත් ගිනි ගැනීමට ලක්වූ නෞකාව ජලය යොදා ගනිමින් සිසිලනය කිරීම සිදු කරනු ලබයි.

ආපදාවට පත් නෞකාවේ වාණිජ හා තාක්‍ෂණික ක්‍රියාකාරිත්වය හිමි සමාගම විසින් පෙර දින දිවයිනට යොමුකරන ලද මුදවාගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීතී උපදේශකයෙකු ද ඇතුළු 10 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසෙන් මුදවාගැනීමේ මෙහෙයුම් විශේෂඥයින් 06 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රාවන් මගින් අනතුරටපත් නෞකාව ඇති මුහුදු ප්‍රදේශය වෙත රැගෙන යන ලද අතර, තවදුරටත් කරුණු අධ්‍යනය කරමින් පසුවේ.

තවද, අදාල සමාගම විසින් තවත් නෙදර්ලන්ත, බ්‍රිතාන්‍ය සහ බෙල්ජියම යන රටවලට අයත් 11 දෙනෙකුගෙන් සමන්විත ආපදා කළමණාකරන විශේෂඥයන් කණ්ඩායමක් ගුවන් මගින් අද (2020 සැප්තැම්බර් 07) උදෑසන මෙරටට යොමු කරන ලද අතර, එම පිරිසද අද දිනය තුල නාවික හමුදාව මගින් අනතුරටපත් නෞකාව පවතින මුහුදු ප්‍රදේශය වෙත නෞකාව නිරීක්‍ෂණය සඳහා රැගෙන යාමට නියමිතව ඇත.

ආපදාවට පත් නෞකාව මේ වන විට සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 30ක් (කිලෝමීටර 56ක්) පමණ ගැඹුරු මුහුදේ රඳවා ගනිමින් මෙම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ. එමෙන්ම, ශ්‍රී ලංකා හා ඉන්දීය නෞකාවන් ඇතුළුව නෞකාවන් 09ක්, ටග් යාත්‍රාවන් 05ක් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා හා ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ගුවන් යානාවක් මේ වන විටත් එම ආපදා කළමණාකරන මෙහෙයුමේ සක්‍රීයව නිරතව සිටී.

ඒ අනුව, නෞකාවේ ඇතිව තිබූ ගින්න පාලනයට ලක් වුවද නැවත නෞකාව ගිනි ගැනීමට ඇති අවධානම පහව යන තෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු පාර්ශවකරුවන් විසින් මෙම ‍ආපදා කළමණාකරන මෙහෙයුමේ තවදුරටත් අඛණ්ඩව නිරතව සිටී.