MT New Diamond නෞකාවේ වර්ථමාන තත්වය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාව

MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථක‍ ලෙස සම්පූර්ණයෙන් පාලනය කිරීමට ආපදා කළමණාකරණ කණ්ඩායම් අද දින (2020 සැප්තැම්බර් 09) සමත් විය. ඒ අනුව නෞකාව අයත් සමාගම විසින් මෙම ආපදාව මර්ධනය කිරීම සඳහා නම් කරන ලද ආයතනයේ විශේෂඥයින් තිදෙනෙකු (03) නෞකාව වෙත ආපදා තත්වයෙන් පසු ප්‍රථම වරට ගොඩවූ අතර, ඔවුන් විසින් මූලික පරීක්‍ෂණ කටයුතු සිදු කර නෞකාවෙන් පිටව යන ලදි. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක්ද ‍ආපදාවට පත් නෞකාවට ඇතුළු වී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තක්සේරුවක් ලබා ගැනීමට නියමිතව ඇති අතර, ඒ අනුව නෞකාවේ වර්ථමාන අලාභහානිය සහ ආරක්‍ෂිත තත්වය පිළිබඳව ඉදිරියේදී ඔවුන් විසින් දැනුම් දීමට නියමිතව ඇත.

අද පෙරවරුවේ ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ තවත් තෙල් පැල්ලමක් නිරීක්‍ෂ‍ණය වූ අතර, එම තෙල් පැල්ලම සහ පෙර දින නිරීක්‍ෂණය කරන ලද තෙල් පැල්ලම සඳහා හේතු වී ඇත්තේ නෞකාවේ ඉන්ධන ටැංකියක වූ කාන්දුවක් බවට කරුණු අණාවරණය විය. ඒ අනුව අදාල තෙල් පැල්ලම් වෙත මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ස්ථාන ගතකර තිබූ ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩෝනියර් වර්ගයේ විශේෂිත ගුවන් යානයක් යොදා ගනිමින් විශේෂීත රසායන ද්‍රව්‍යක් ඉසීමට කටයුතු කර එමගින් සාගර පරිසරයට වියහැකිව තිබූ බලපෑම අවම කිරීමට කටයුතු කෙරි‍ණි. මේ වන විට පෙර දින නිරීක්‍ෂ‍ණය වූ තෙල් පැල්ලම නිරීක්‍ෂණය නොවන අතර, අද උදෑසන නිරීක්‍ෂණය වූ තෙල් පැල්ලම මේ වන විට අඩුවෙමින් පවතින බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා සහ ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ගුවන් යානාව මගින් ලබා දුන් ගුවන් ජායාරූප මගින් තහවුරු විය. ගුවන් වාර දෙකකදී මෙම තෙල් පැල්ලම් ඉවත් කිරීම සඳහා රසායන ද්‍රව්‍ය ඉසින ලද අතර, අවශ්‍යතාවය මත තවදුරටත් අදාල යානය යොදා ගැනීම සඳහා සූදානම්ව තබා ඇත.

මේ වන විට ආපදාවට පත් නෞකාවේ ඇති තාක්‍ෂණික දත්ත විශ්ලේෂණය කිරීමේදී, නෞකාවේ ගබඩා කර ඇති බොරතෙල් සංචිතයන් වෙත කිසිදු හානියක් හෝ එම බොරතෙල් කාන්දුවීමක් සිදුවී නොමැති බවට තහවුරු කර ගැනීමට හැකි වී ඇත. මෙය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා මෙම මුහුදු ප්‍රදේශයේ පවත්නා රළු ස්වාභාවය පහව ගිය පසු ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සහ ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් කිමිදුම් කණ්ඩායමක් ඒකාබද්ධ කිමිදුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.

ආපදාවට පත් නෞකාවේ වානිජ හා තාක්‍ෂණික ක්‍රියාකාරිත්වය හිමි සමාගම විසින් ආපදා තත්වයෙන් එම නෞකාව මුදවා ගැනීම සඳහා නම් කරන ලද විශේෂඥ සමාගම වෙතින් මෙරටට යොමු කරන ලද වි‍දේශීය ගලවා ගැනීමේ විශේෂඥයින් 17 දෙනෙ‍කුගෙන් යුත් කණ්ඩායමක් නාවික හමුදාව මගින් ආපදාවට පත් නෞකාව ඇති මුහුදු ප්‍රදේශය වෙත රැගෙන යනු ලැබූ අතර, ඉන් විශේෂඥයින් තිදෙනෙක් (03) අද (2020 සැප්තැම්බර් 09) දින මෙලෙස නෞකාවට ඇතුළුවී නෞකාවේ ඇතුලත දැවී ගිය විවිධ කොටස් මගින් ඇතිවන විෂ වායූන් පිළිබඳ මෙන්ම නෞකාවේ ඇතුලත උෂ්ණත්වය ආදී සියළු දත්ත ලබා ගැනීම සිදු කරන ලදි. තවද, අදාල දත්තයන් විශ්ලේෂණය කිරීමෙන් පසු තවත් කණ්ඩායමක් නෞකාවේ ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා නෞකාව වෙත ඇතුළු වීමට නියමිතව ඇත.

දැනට නෞකාව ගොඩබිම සිට නාවික සැතපුම් 40ත් 41ත් අතර දුරක රඳවා තබා ඇති අතර, දින 06ක් පුරාවට අවම වශයෙන් ටග් යාත්‍රාවන් 04ක් සහ නෞකාවන් 10ක් මගින් නෞකාවේ පිටුපස ප්‍රදේශයට මුහුදු ජලය පොම්ප කිරීම හේතුවෙන්, යන්ත්‍ර කාමරය සහ පොම්ප කාමරය 80%ක පමණ ප්‍රමාණයක් ජලයෙන් පිරී ඇත. එබැවින් නෞකාව මඳක් පසුපස ප්‍රදේශයෙන් ගිලුණු ස්වාභාවයක් පෙන්නුම් කලත් එය නෞකාවේ ස්ථායී භාවයට කිසිදු බලපෑමක් නොමැති අතර, නෞකාව ගිලී යාමේද කිසිදු අවධානමක් නොමැත.

නෞකාව මගින් සාගරික පරිසරයට සිදුවූ බලපෑම අධ්‍යනය කිරීම සඳහා ජල නියැදි පරීක්‍ෂා කිරීමට ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA), ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය (MEPA) හා රුහුණු විශ්ව විද්‍යාලයට අයත් පර්යේෂන කණ්ඩායමක් 2020 සැප්තැම්බර් 08 වන දින නාවික හමුදාව විසින් මෙම මුහුදු ප්‍රදේශය වෙත ගෙන යන ලද අතර, ඔවුන් දැනට එම ලබා ගත් ජල සාම්පල පරීක්‍ෂා කරමින් පවතී. විශේෂයෙන්, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් මෙම මෙහෙයුම සඳහා එක් කර ඇති එක් නෞකාවක් සමුද්‍රීය දූෂණ වැළැක්වීමේ පහසුකම් වලින් සමන්විත වන අතර, එම නෞකාව සතුව ඇති විද්‍යාගාරය තුලද මේ වන විට අදාල ජල නියැදීන් පරීක්‍ෂා කිරීම සිදු කරමින් පවතී. ඒ අනුව පවත්නා තාක්‍ෂණික දත්තයන්ට අනුව මෙම මුහුදු ප්‍රදේශයේ නිරීක්‍ෂණය වූ ඉන්ධන පැල්ලම් නෞකාවේ ඉන්ධන ටැංකියක වූ කාන්දුවකින් ඇති වූ ඉන්ධන පැල්ලම් බව විශ්වාස කෙරේ.

දැනට මෙම ආපදා කළමණාකරන මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ අනෙකුත් පාර්ශවකරුවන් සඳහා වැය වූ සමස්ථ වියදම මෙහෙයුම සම්පූර්ණයෙන් අවසන්වී නොමැති බැවින් තවදුරටත් ගණනය කරමින් පවතී. මෙම ආපදා මෙහහෙයුම සම්පූර්ණයෙන් අවසන් වූ පසු අදාල මෙහෙයුම සඳහා රටක් වශයෙන් වැය වූ සමස්ථ වියදම ගණනය කිරීමට හැකිවනු ඇත.

ශ්‍රීලංකා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය (MEPA) පාර්ශවකරුවකු වශයෙන් වෙළඳ නෞකා අධ්‍යක්‍ෂ ජෙනරාල් මගින් අන්තර් ජාතික සම්මුතීන්ට අනුව අලාභහානි අයකිරීම් සිදු කෙරෙනු ඇත. ඒ සඳහා සහතික කල වියදම් වාර්ථා ඉදිරිපත් කිරීමෙන් පසු ආදල නෞකාවේ රක්‍ෂ‍ණ සමාගම් එම වියදම් පියවීමට බැඳී සිටී. ඒසේ නොවුව හොත් නීතිමය පියවරයන් මගින් එම වියදම් පියවා ගැනීමේ හැකියාව පවතී.

නෞකාවට ඇතුළු වූ විශේෂඥයින්ගේ වාර්තා ලැබී නොමැති අතර, එම තොරතුරු ලැබෙන තෙක් නෞකාවේ නැවත ගින්නක් ඇති වීම සම්බන්ධයෙන් ස්ථිරව ප්‍රකාශ කිරීමට හැකියාවක් නොමැත. මෙම තත්වය පාලනය කළ පසු මෙම නෞකාවේ වගකීම පැවරෙනුයේ නෞකාවේ අයිති සමාගමට සහ එම සමාගම නම් කරනු ලබන ගැලවුම්කාර සමාගම වෙතය. මෙහිදී ශ්‍රී ලංකාව අන්තර්ජාතික සම්මුතීන් අනුව වෙරළබඩ රාජ්‍යක වගකීම ඉටු කිරීම සිදු කරනු ලබන අතර, මෙරටේ බලධාරීන්ගේ අනුමැතියකින් තොරව මෙම නෞකාව ශ්‍රී ලංකාවේ වරායකට රැගෙන ඒම සිදු නොවේ. එමෙන්ම මෙම නෞකාව නැවත රැගෙන යාම සඳහාද‍ මෙරට වෙළද නෞකා අධ්‍යක්‍ෂ ජෙනරාල්ගේ අනුමැතිය අවශ්‍ය වේ. නාවික හමුදාව මෙහිදී ජාතික අධිකාරියේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනයක් වශයෙන් කටයුතු කරන අතර, එහිදී ජාතික අධිකාරිය ගන්නා තීරණ අනුව නාවික හමුදාව විසින් මෙම කර්තව්‍ය මුහුදේදී හැසිරවීම සඳහා අවශ්‍ය පියවර ගනු ලබයි.

මෙම ආපදා කළමණාකරණ මෙහෙයුම සඳහා ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඉතා ඉහළ මට්ටමේ සහයෝගයක් ලබාදුන් අතර, පසුගිය සැප්තැම්බර් 07 වන දින අයහපත් කාළගුණය මත පාලනය කර තිබූ නෞකාවේ ගින්න නැවත උපරිම ලෙස වර්ධනය වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් දැනුවත් කිරීමෙන් පසු වහාම ගිනි නිවන උපකරණ සහ රසායන ද්‍රව්‍ය රැගත් ඩෝනීය වර්ගයේ ගුවන් යානයක් ත්‍රිකුණාමලය චීන වරාය ගුවන්තොටුපල වෙත යොමු කරන ලදි. එමෙන්ම ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මෙවැනි ආපදා සඳහාම යොදවනු ලබන නෞකා 06ක් මෙම මෙහෙයුමට සක්‍රීයව සම්බන්ධ වූ අතර, ගින්න ඇතිවූ දිනයේදීම ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක් මෙම මුහුදු ප්‍රදේශය වෙත පැමිණෙන ලදි.

මෙම මෙහෙයුම සඳහා ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමෙන්තුවෙන් ඉතා ප්‍රශංසනීය සහයෝගයක් නාවික හමුදාව වෙත ලබා දෙන ලදි. එමෙන්ම ඉන්දීය නාවික හමුදාවද මෙම මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්වූ අතර, ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක්ද මෙම මෙහෙයුම සඳහා එක් කරන ලදි. මෙවැනි ආපදා මැඩලීම සම්බන්ධයෙන් කලාපයේ තාක්‍ෂණය සහ හැකියාව අතින් ඉහළම ආයතනයක් ලෙස ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඔවුන් සතු සියළුම සම්පත් මෙම ආපදා කළමණාකරන මෙහෙයුම සඳහා යෙදවීම සම්බන්ඳයෙන් ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ඉන්දීය නාවික හමුදාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ ස්තූතිය හිමි වේ. එමෙන්ම රුසියාවට අයත් යුධ නෞකාවන් දෙකක්ද (02) මෙම මෙහෙයුමට අවශ්‍ය සහයෝගය ලබාදී පිටත්ව යන ලදි.

ඉන්දියාවේ වෙරළ කලාපයේ විශාලත්වය අනුව මෙවැනි ආපදා කළමනාකරණ කටයුතු සඳහා ඉන්දියාවේ මැදිහත්වීම නිරන්තරව සිදු වන බැවින් ඒ සඳහාම වන තාක්‍ෂණයෙන් ඉහළ නෞකා ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සතු වන අතර, එම නෞකා භාවිතයද ඉතා ඉහල මට්ටමක පවතී. නමුත් ශ්‍රී ලංකාවට අයත් වෙරළ කලාපයේ මෙවැනි ආපදා තත්වයන් ඉතා අඩු මට්ටමකින් සිදුව ඇති බැවින්‍, එවැනි අවස්ථාවන් සඳහා භාවිතා කිරීමට අධික වටිනාකමකින් යුත් සම්පත් පවත්වා ගැනීම ශ්‍රී ලංකාව වැනි රටකට සිදු කිරීම ඉතාමත් අපහසුය.

සාගරය සියළුම රජ්‍යයන්ට අයත් පොදු සම්පතක් වන බැවින් මෙවැනි ආපදා කළමණාකරනය කිරීම සඳහා අන්තර්ජාතික සම්මුතීන් අනුව සෑම රටකටම ජාත්‍යන්තර බැඳීමක් ඇති අතර, මෙවැනි ආපදා තත්ව කළමණාකරනය සඳහා ඕනෑම රටක් අන්තර් ජාතික සහයෝගය ලබා ගැනීම නිරන්තරයෙන් සිදුවේ. කෙසේ වෙතත්, මෙම ආපදා කළමණාකරන මෙහෙයුම තුලින් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලද අත් දැකීම් හා දැනුම ඉදිරියේදී මෙවැනි මෙහෙයුම් සඳහා මහත් පිටුවහලක් වනු ඇත.