මෙහෙයුම් පුවත්

MT New Diamond නෞකාවේ වර්ථමාන තත්වය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාව

MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථක‍ ලෙස සම්පූර්ණයෙන් පාලනය කිරීමට ආපදා කළමණාකරණ කණ්ඩායම් අද දින (2020 සැප්තැම්බර් 09) සමත් විය. ඒ අනුව නෞකාව අයත් සමාගම විසින් මෙම ආපදාව මර්ධනය කිරීම සඳහා නම් කරන ලද ආයතනයේ විශේෂඥයින් තිදෙනෙකු (03) නෞකාව වෙත ආපදා තත්වයෙන් පසු ප්‍රථම වරට ගොඩවූ අතර, ඔවුන් විසින් මූලික පරීක්‍ෂණ කටයුතු සිදු කර නෞකාවෙන් පිටව යන ලදි. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක්ද ‍ආපදාවට පත් නෞකාවට ඇතුළු වී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තක්සේරුවක් ලබා ගැනීමට නියමිතව ඇති අතර, ඒ අනුව නෞකාවේ වර්ථමාන අලාභහානිය සහ ආරක්‍ෂිත තත්වය පිළිබඳව ඉදිරියේදී ඔවුන් විසින් දැනුම් දීමට නියමිතව ඇත.

09 Sep 2020

මාධ්‍ය නිවේදනය


අයහපත් කාලගුණයෙන් “New Diamond” නෞකාවේ වර්ධනය වූ ගින්න ඒකාබද්ධ ආපදා කළමණාකරන කණ්ඩායම් මෙහෙයුම් මගින් සාර්ථකව පාලනය කෙරේ

අයහපත් කාලගුණය මත 2020 සැප්තැම්බර් මස 07 වන දින නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සාර්ථක‍ ලෙස පාලනය කිරීමට අද (2020 සැප්තැම්බර් 09) අළුයම් කාලය වන විට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් විය. එමෙන්ම මේ වන විට නෞකාවෙන් ගිනිදැල් නිකුත්වීමක් හෝ දුම් පිටවීමක් නිරීක්‍ෂණය නොවන අතර, ටග් යාත්‍රාවක් යොදා ගනිමින් ආපදාවට පත් නෞකාව නැවතත් ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාම සිදු කරමින් පවතී. ඒ අනුව ආපදාවට පත් නෞකාව මේ වන විට සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 37ක් වූ ගැඹුරු මුහුදට රැගෙන ගොස් ඇති අතර, එම මුහුදු ප්‍රදේශයේ පවතින ඉතාමත් රළු ස්වාභාවය සහ දැඩි සුළං ප්‍රවාහයද හමුවේ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

09 Sep 2020