හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව පසුගිය දින කිහිපය තුල මන්නාරම ශාන්තිපුරම්, පුල්මුඩේ ජින්නපුරම්, ගාල්ල දුම්රිය ස්ථානය සහ රිච්මන්ඩ් කන්ද යන ප්‍රදේශයන්හි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 05ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙහිදී උතුරු මැද නාවික විධානය මගින් මන්නාරම පොලිස් දූෂණ මර්ධන ඒකකය හා එක්ව මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී අලෙවිකිරීම සඳහා ලඟ තබාගෙන සිටි හෙරොයින් මිලි ග්‍රෑම් 410ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කල අතර, නැගෙනහිර නාවික විධානය මගින් පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව පුල්මුඩේ ජින්නපුරම් ප්‍රදේශයේ සිදුකල තවත් සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් මිලි ග්‍රෑම් 200 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු සහ යතුරුපැදියක් අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, දකුණු නාවික විධානය මගින් හියාරේ ‍ විශේෂ කාර්ය බලකාය හා එක්ව ගාල්ල දුම්රිය ස්ථානය සහ රිච්මන්ඩ් කන්ද යන ප්‍රදේශයන්හි සිදුකල තවත් සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කල අතර ඔවුන් සන්තකයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 802ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ අතර, එහිදී යතුරු පැදියක්ද අත් අඩංගුවට ගන්නා ලදි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 22ත් 26ත් අතර වයසේ පසුවන ශාන්තිපුරම්, පුල්මුඩේ, ගාල්ල සහ පොලොන්නරුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර අදාල සැකකරුවන් මත්ද්‍රව්‍ය සහ යතුරු පැදි ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම සහ පුල්මුඩේ පොලිස් ස්ථාන වෙතත් ගාල්ල සුරාබදු කාර්යාලය වෙතත් භාරදීමට කටයුතු කරන ලදි.