දේශීයව නිශ්පාදිත ගිණි අවි දෙකක් සහ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ඔක්තෝබර් 08 සහ 09 දෙදින තුළ මන්නාරම නරුවිලිකුලම් සහ කිරින්ද ප්‍රදේශයන්හි සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් දේශීයව නිශ්පාදිත ගිණි අවි දෙකක් සහ සැකකරුවෙක් (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය.

උතුරු මැද නාවික විධානය මගින් මන්නාරම නරුවිලිකුලම් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කලෑවක් තුළ සඟවා තිබූ දේශීයව නිශ්පාදිත ගිණි අවියක් සොයා ගන්නා ලද අතර, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා කතරගම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කිරින්ද ප්‍රදේශයේ සිදු කළ තවත් මෙහෙයුමකදී බලපත්‍ර රහිත දේශියව නිශ්පාදිත ගිණි අවියක් සමඟ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 43ක් වන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස, නරුවිලිකුලම් ප්‍රදේශයේදී සොයාගන්නා ලද ගිණි අවිය පරයානකුලම් පොලිස් විශේෂ කාර්ය බලකාය වෙතත්, කිරින්ද ප්‍රදේශයේදී ගිණි අවියක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු කිරින්ද පොලීසිය වෙතත් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා භාර දීමට නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරන ලදි.