මුහුදේදී ගිනිගැනීමකට ලක්වූ ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව සමත්වෙයි

දකුණු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවක ඇති වූ ගින්නක් සාර්ථකව පාලනය කර අදාල ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් නිරුපද්‍රිතව ගාල්ල වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (2020 නොවැම්බර් 07) කටයුතු කරන ලදි.

අම්බලන්ගොඩ ධීවර ‍වරායෙන් ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් තිබූ ‘ජනත් I’, (IMUL-A-0545-GLE) නැමැති බහුදින ධීවර යාත්‍රාව නැවත ගොඩබිම වෙත පැමිණෙමින් තිබියදී කොග්ගල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී එහි එන්ජින් කාමරයේ හදිසි ගිණි ගැනීමක් ඇතිවී ඇති අතර, අදාල ප්‍රදේශයේ මුර සංචාරයේ නිරතව සිටි දකුණු නාවික විධානයට අනුයුක්ත වෙරළ ආරක්ෂක මුර යාත්‍රාවක් මගින් එම බහුදින යාත්‍රාවේ ඇතිව තිබූ ගින්න නිරීක්‍ෂණය කරන ලදි. ඒ අනුව වහාම එම වෙරළ ආරක්ෂක මුර යාත්‍රාව බහුදින ධීවර යාත්‍රාවේ ඇතිව තිබූ ගින්න පාලනය කිරීමට යොමු කිරීමටත්, තවදුරටත් ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දීමට ගාල්ල වරායේ සිට නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක්ද කඩිනමින් අදාල බහුදින යාත්‍රාව තිබූ මුහුදු ප්‍රදේශය වෙත යොමු කිරීමටත් කටයුතු කරන ලදි.

ඒ අනුව වේග ප්‍රහාරක යාත්‍රාවේ සහ වෙරළ ආරක්ෂක මුර යාත්‍රාවේ නාවික පුද්ගලයින් විසින් ඇතිවී තිබූ ගින්න සාර්ථව පාලනය කිරීමට සමත් විය. මෙම සිදුවීමෙන් අදාල බහුදින ධීවර යාත්‍රාවේ සිටි කිසිදු ධීවරයෙකු හට අනතුරක් සිදුවී නොමැති අතර, එම බහුදින යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් පිරිස නාවික හමුදා වෙරළ ආරක්‍ෂක මුර යාත්‍රාව මගින් ගාල්ල ධීවර වරාය වෙත නිරුපද්‍රිත‍ව රැගෙන ඒමට කටයුතු කරන ලදි.

පවතින කොව්ඩ් 19 අවධානම් තත්වය හමුවේ මෙම ආපදා සහන මෙහෙයුම සෞඛ්‍යාර‍ක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව සිදු කිරීමට නාවික හමුදාව කටයුතු කල අතර, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් කළාපය තුල ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසිම සඳහා නිරන්තයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාව, ඉදිරියේදීද ඇතිවිය හැකි මෙවැනි ඕනෑම හදිසි අවස්ථාවන් සඳහා ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටී.