මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ කිලෝ 800ක තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව කල්පිටිය දළුව වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 800 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු අද (2020 නොවැම්බර් 12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානය මගින් සිදුකල මෙම මෙහෙයුමේදී කල්පිටිය දළුව වෙරළ තීරය වෙත පැමිණි සැක සහිත ඩිංගි යාත්‍රා දෙකක් (02) පරීක්‍ෂාවට ලක් කිරීමේදී, එම යාත්‍රාවන් තුල ගෝනි මළු 32 ක අසුරා තිබූ කිලෝග්‍රෑම් 800 ක් පමණ බරැති වියලි කහ තොගයක් සොයා ගැනීමට සමත් විය. මෙහිදී අදාල යාත්‍රාවන් තුල සිටි සැකකරුවන් සිව් දෙනෙකු (04) සහ එම ඩිංගි යාත්‍රාවන්ද, මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු (02) සහ කැබ් රථයක්ද මෙහිදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් සැකරුවන් වයස අවරුදු 19 ත් 43 ත් අතර වයස් වල පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, වියලි කහ තොගය, ඩිංගි යාත්‍රාවන් සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.