කේරළ ගංජා කිලෝග්‍රෑම් 124කට අධික ප්‍රමණයක් සමඟ සැකකරුවන් 02ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් උතුරු මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 124කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) 2021 ජනවාරි 06 වන දින නාවික හමුදා භාරය‍ට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සියළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව උතුරු නාවික විධානය, කන්කසන්තුරය මයිලඩි ප්‍රදේශයට උතුරු දෙසින් වූ මුහුදේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී තොණ්ඩමනාරු දෙසට යාත්‍රාකරමින් තිබූ සැක සහිත ඩිංගි යාත්‍රාවක සිටි පුද්ගලයින් විසින් නාවික මෙහෙයුම් හේතුවෙන් එම යාත්‍රාව තුල තිබූ මලු කිහිපයක් සැකකටයුතු ලෙස මුහුදට දමා පලා යාමට උත්සාහ කරන ලදි. පසුව අදාල යාත්‍රාව ලුහුබැඳ ගොස් සැකකරුවන් දෙදෙනෙක් (02) සහ එම ඩිංගි යාත්‍රාවද, මුහුදට දමන ලද මලු 04ක් තුල තිබූ කේරළ ගංජා කිලෝ 124 ග්‍රෑම් 65 ක පමණ ප්‍රමාණයක්ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 සහ 31 යන වයසේ පසුවන නෙල්ලිඅඩි සහ වැල්වැටිතුරේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදෙන තෙක් නාවික හමුදා භාරයේ රඳවාගෙන ඇති අතර, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කංකසන්තු‍රය පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, මෙරට මුහුදු කළාපය ඔස්සේ සිදු වන සියළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් සිදු කරනු ලබයි.