කේරළ ගංජා කිලෝ 18 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ 2021 මාර්තු 01 වන දින සිදු කළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් කිලෝග්‍රෑම් 18 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා රජය විසින් ගෙනයනු ලබන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් යුතුව මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව මාර්තු 01 වන දින උතුරු මැද නාවික විධානය සහ තලෙයිමන්නාරම පොලීසිය එක්ව තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ ‍සෝදිසි මෙහෙයුමේදී පාර්සල් 10 ක අසුරා ලඳු කැලයක් තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 18 ග්‍රෑම් 505 ක (තෙත බර සහිත) පමණ ප්‍රමාණයක් සොයා ගන්නා ලදි.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිදු කළ මෙම මෙහෙයුම මගින් සොයා ගත් කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කළ අතර, මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සොයා නාවික හමුදාව සහ තලෙයිමන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.