නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලදැයි සැක කෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 2217 ක තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2021 මාර්තු 04 සහ අද අළුයම (2021 මාර්තු 05) සිලාවතුර, මනල්කුලම් සහ නොරොච්චෝලේ, පුලච්චේන යන ප්‍රදේශයන්හි සිදුකල විශේෂ ‍සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන ලදැයි සැක කෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 2217 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 07ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මඟින් සිදුවන නීතිවිරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානය මගින් 2021 මාර්තු 04 වන දින සිලාවතුර, මනල්කුලම් ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී වගා භූමියක ඉදිකර තිබූ සැක සහිත කුඩා ගොඩනැගිල්ලක් පරීක්‍ෂාකර එහි තිබූ උර 24ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 826ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට සමත්විය. එමෙන්ම, අද (2021 මාර්තු 05) අළුයම නොරොච්චෝලේ, පුලච්චේන ප්‍රදේශයේ සිදු කළ තවත් සෝදිසි මෙහෙයුමකදී උර 38 ක අසුරා ප්‍රවාහනය කරමින් තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 1391 ක තොගයක් සමඟ සැකකරුවන් 05 ක් එම කහ තොගය ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කළ මොටර් රථයක්, කුඩා ලොරි රථයක් සහ යතුරුපැදියක් ද සමඟින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. තවද, මෙලෙස නාවික හමුදා භාරයට ගත් කහ තොග, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන්නට ඇතැයි නාවික හමුදාව සැක පල කෙරේ.

නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 31ත් 52ත් අතර වයසේ පසුවන සිලාවතුර, පාලවිය සහ වත්තල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලදි. 2021 මාර්තු 04 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලද වියලි කහ තොගය සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර පොලීසිය වෙතත්, අද (2021 මාර්තු 05) අළුයම නාවික හමුදා භාරයටගත් වියලි කහ තොගය, සැකකරුවන්, මොටර් රථය, කුඩා ලොරි රථය සහ යතුරුපැදිය නොරොච්චෝලේ පොලිසීය වෙතත් භාර දීමට කටයුතු කෙරිණි.