නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයක් රත්නපුරයට

ගංවතුර අවදානම හමුවේ ආපදාවට පත්වන ජනතාව වෙත කඩිනමින් අවශ්‍ය සහන සැළසීමේ අරමුණින් රත්නපුරය නව නගරයේ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයක් ස්ථාපිත කිරීම 2021 මැයි 11 දින සිදු කෙරිණි.

රන්නපුර නගරය ආසන්නයෙන් ගලා බසින කළු ග‍ඟේ ජල පෝෂක ප්‍රදේශයන් වෙත ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමඟ රන්තපුරය නගරය හා ඒ අවට පිහිටි පහත්බිම් නිරන්තරයෙන් ගංවතුර අවදානමට ලක්වේ. ගංවතුර අවදානම් තත්ත්වය සඳහා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ සහ සහන සැළසීමේ මෙහෙයුම් කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස සිදු කිරීමේ අරමුණින් නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයක් මෙලෙස රත්නපුරය නව නගරයේ ස්ථාපිත කිරීම සිදු කෙරුණු අතර, එම ඒකකයට අයත් කණ්ඩායමක් මේ වන විට එහි සූදානමින් තබා ඇත.

රන්තපුර නගරය හා ඒ අවට දැඩි ගංවතුර අවදානමක් පවතින ප්‍රදේශ වෙත පහසුවෙන් ළගාවිය හැකි පරිදි මෙම නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකය ස්ථාපිත කිරීම මඟින්, ඉදිරියේදී ගංවතුර ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය හා සම්බන්ධීකරණය වී පහසුවෙන් එම තත්ත්වය කළමණාකරනය කරගනිමින් මහජනතාව වෙත අවශ්‍ය සහන සැළසීමේ හැකියාව ලැබෙනු ඇත.