නාවික සැතපුම් 345ක් දුර මුහුදේ අනතුරට පත් ධීවරයෙකු ප්‍රතිකාර සදහා රැගෙන ඒමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට (Great Basses) නාවික සැතපුම් 345ක් පමණ (කිලෝ මීටර් 638ක් පමණ) දුර ගැඹුරු මුහුදේදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් තුවාල ලබා ආසාද්‍ය තත්ත්වයේ සිටි, මෙරට බහුදින යාත්‍රාවක ධීවරයෙකු ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ගොඩබිමට රැගෙන ඒම සදහා ශ්‍රි ලංකා නාවික නෞකා ‘සයුර’ යොමු කිරිමෙන් අනතුරුව අද (2021 ජුනි 04) දින උදෑසන 1130 පමණ විට එම රෝගියා නෞකාව තුලට ගෙන ප්‍රථමාධාර දීම ආරම්භ කෙරිණි.

තංගල්ල ධීවර වරායෙන් 2021 අප්‍රේල් මස 21 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති ධීවරයින් හය දෙනෙකුගෙන් (0‍6) සමන්විත ‘දු භාෂි’ නැමැති බහු දින ධීවර යාත්‍රාවේ (ලියාපදිංචි අංක IMUL-A-0928 MTR) සිදු වු හදිසි අනතුරක් හේතුවෙන් එම යාත්‍රාවේ සිටි ධීවරයෙකුගේ පාදයකට දැඩි ලෙස හානී වි ඉතා අසාද්‍ය තත්වයෙන් පසු වන බවට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සාගරික මුදවා ගැනීම් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලදි.

ඒ අනුව, එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, අනතුරට පත් ධීවරයා ප්‍රතිකාර සදහා රැගෙන ඒම සදහා ශ්‍රි ලංකා නාවික නෞකා ‘සයුර’ නෞකාව යෙදවීමට කටයුතු කරන ලදී. මේ වන විට ශ්‍රිලංනානෞ ‘සයුර’ නෞකාව එම ගැඹුරු මුහුදු ප්‍රදේශයේ සිට අනතුරටපත් ධීවරයාට අවශ්‍ය ප්‍රථමාධාර ලබා දෙමින් ගොඩබිම දෙසට යාත්‍රා කරමින් සිටින අතර හෙට දින පෙරවරුවේ හම්බන්තොට වරාය වෙත ලගා විමට නියමිතය.

එමෙන්ම, ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරත්නතර සුදානමෙන් සිටී.