ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි ගං වතුරෙන් විපතටපත් තවත් පුද්ගලයන් 66 දෙනෙකු නාවික හමුදාවෙන් බේරා ගනී

අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ගං වතුර තත්ත්වයෙන් ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා මේ වන විට බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ පළාත් ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩායම් 33ක් යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, අද (2021 ජුනි 05) සවස් භාගය වන විට නාවික හමුදා සහන කණ්ඩායම් මගින් ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක ගං වතුරෙන් විපතට පත් කුඩා ළමුන් සහ කාන්තාවන් ඇතුළු තවත් පුද්ගලයන් 66 දෙනෙකු මුදා ගැනීමට සහ අවශ්‍ය සහන සැලසීමට කටයුතු කෙරිණි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල ප්‍රදේශය ආශ්‍රිතව ඇති ගං වතුර තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටි කුඩා ළමුන් කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 61ක් ද, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයේ ගං වතුරෙන් විපතට පත් තවත් පුද්ගලයින් 05 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 66 දෙනෙකු නාවික හමුදා සහන කණ්ඩායම් විසින් කඩිනමින් මුදා ගැනීමෙන් පසු ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර අවශ්‍ය සහන සැලසීමට කටයුතු කෙරිණි.

තවද, මේ වන විට ගම්පහ, කළුතර, කොළඹ, රත්නපුර, ගාල්ල, මාතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්ට අයත් ගං වතුර අවදානම සහිත ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි මහජනතාවට සහන සැලසීම සඳහා සහන කණ්ඩායම් 33ක් නාවික හමුදාව විසින් යොදවා ඇති අතර, තවත් සහන කණ්ඩායම් 11ක් අවශ්‍යතාවය මත ස්ථානගත කිරිම සඳහා සූදානමින් තබා ඇත.