මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ ගං වතුරෙන් විපතටපත් ජනතාවගේ නිවාස හා දේපල ආරක්‍ෂාව සඳහා නාවික හමුදා බෝට්ටු මුර සංචාර

මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ පවතින ගං වතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වු ජනතාවගේ නිවාස හා දේපල වලට ආරක්‍ෂාව සැපයීම සදහා ජංගම බෝට්ටු මුර සංචාරයක් අද (2021 ජුනි 06) රාත්‍රියේ සිට යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

පැවති අධික වර්ෂාව සමග මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයට බලපා ඇති ගං වතුර තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශය හරහා ගලා බසින මෙගොඩ කොලොන්නාව ඇල මාර්ගය දෙපස පදිංචි ජනතාව සිය නිවාස වෙතින් ආරක්‍ෂක ස්ථාන වෙත මේ වන විටත් යොමු කර ඇත. ඒ අනුව එම ජනතාවගේ නිවාස හා දේපල වල සුරක්‍ෂිතභාවය තහවුරු කිරීම සදහා ආරම්භ කරන ලද විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ලෙස වැල්ලම්පිටිය පොලිසියේ ද සහය ඇතිව මෙගොඩ කොලොන්නාව ඇල මාර්ගය ඔස්සේ ජංගම බෝට්ටු මුර සංචාරයක් මෙලෙස නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කර ඇත.

තවද, පවතින ගං වතුර අවධානම් තත්ත්වය හමුවේ පීඩාවටපත් ජනතාව ඉන් මුදා ගැනීමට හා ඔවුන්ට අවශ්‍ය සහන අඛණ්ඩව සැලසීමට නාවික හමුදාව නිරන්තර සුදානම්න් සිටියි.