දින 03ක් තුලදී නීති විරෝධී ලෙස මුහුදු මඟින් රැගෙන ආ වියලි කහ කිලෝ 2000කට අධික තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 ජුනි 29, 30 සහ ජූලි මස 01 යන තෙදින (03) තුළ මන්නාරම, අච්චානකුලම්, නරුවිලිකුලම් සහ සවුත්බාර් යන වෙරළ ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 2021 ග්‍රෑම් 400 ක පමණ ප්‍රමාණයක් සමඟ එම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 06ක්, ඩිංගි යාත්‍රා 02 ක්, වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වෙරළ කළාපය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානය මඟින් මන්නාරම අච්චානකුලම් මුහුදේදී 2021 ජුනි 29 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැක සහිත ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර එම යාත්‍රාවේ තිබූ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ඒමට උත්සාහ කළ ගෝනි මලු 13ක අසුරන ලද තෙත බර සහිත වියලි කහ කිලෝ 601 ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් සමඟ එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදී. තවද, මන්නාරම නරුවිලිකුලම් වෙරළ තීරයේ 2021 ජුනි මස ‍30 වන දින සිදුකළ තවත් මුර සංචාරයකදී ජාවාරම්කරුවන් විසින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් වෙරළ තීරයේ ලඳු කැලෑවක් තුළ සඟවා තිබු තවත් ගෝනි මලු 14ක අසුරන ලද වියලි කහ කිලෝ 642 ග්‍රෑම් 700ක පමණ ප්‍රමාණයක් ද නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මන්නාරම සවුත්බාර් කළපු ප්‍රදේශයේ අද (2021 ජූලි 01) අළුයම සිදුකළ තවත් ‍විශේෂ මෙහෙයුමකදී කළපුව ඔස්සේ නීති විරෝධී ලෙස රැගෙන එන ලද වියලි කහ සහිත උර වෑන් රථයකට පටවමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු (04) සමඟින් උර 28ක අසුරා තිබූ වියලි කහ කිලෝ 777 ග්‍රෑම් 600ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එහිදී වියලි කහ රැගෙන එන ලද ඩිංගි යාත්‍රාව සහ එම වියලි කහ රැගෙන යාමට පැමිණ තිබූ වෑන් රථය සහ ත්‍රීරෝද රථයක් ද නාවික හමුදා භාරයට ගන්නා ලදී.

ඒ අනුව, කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් උතුරු මැද නාවික විධානය මඟින් දින තුනක් (03) තුලදී පමණක් සිදුකළ මෙහෙයුම් මඟින් වියලි කහ කිලෝ 2021 ග්‍රෑම් 400ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට හැකි විය.

මෙහිදී අච්චානකුලම් වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් මන්නාරම අරිප්පු ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් නිරෝධායනය සඳහා මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වෙත භාරදීමට කටයුතු කළ අතර, එම වියලි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදී. එමෙන්ම, නරුවිලිකුලම් වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ රඳවා තබා ඇති අතර, අද (2021 ජූලි 01) සවුත්බාර් ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් කහ තොගය, මන්නාරම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් සිව්දෙනා (04), වෑන් රථය සහ ත්‍රීරෝද රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.