නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ ඇතුළු තවත් භාණ්ඩ තොගයක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් කල්පිටිය තුඩාව සහ මන්නාරම අරිප්පු වෙරළ ප්‍රදේශයන්හි 2021 සැප්තැම්බර් 10 මධ්‍යම රාත්‍රීයේ දී සහ අද අළුයම (2021 සැප්තැම්බර් 11) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 1628කට අධික තොගයක් සහ විදුලි උපාංග තොගයක් සමඟ සැකකරුවන් 05ක් සහ ඩීංගි යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් 2021 සැප්තැම්බර් මස 10 වන දින රාත්‍රීයේ කල්පිටිය තුඩාව වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී තුඩාව වෙරළට පැමිණෙමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කරන ලදී. එහිදී එම සැකකටයුතු යාත්‍රාව තුළ නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ උර 31ක අසුරා තිබූ වියලි කහ කිලෝ 1134ක තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03)ක් සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගත් අතර, නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ ගෘහ විදුලි පරිපථ සඳහා යොදා ගන්නා විදුලි උපාංග සහිත තවත් උර දෙකක් ද (02) එම යාත්‍රාවේ තිබි නාවික හමුදා භාරයට ගන්නා ලදී.

එමෙන්ම උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා ඵුස්සදේව ආයතනයේ මැරීන් කණ්ඩායමක් විසින් අද (2021 සැප්තැම්බර් මස 11) අළුයම අරිප්පු මෝය ප්‍රදේශයේ සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී අරිප්පු වෙරළ‍ට පැමිණෙමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කර, නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ උර 17ක අසුරන ලද තවත් වියලි කහ කිලෝ 494 ග්‍රෑම් 100ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02)ක් සමග එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 ත් 45ත් අතර වයසේ පසුවන කල්පිටිය සහ පේසාලෙයි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලදි. තවද, කල්පිටිය තුඩාව ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, වියලි කහ තොගය, ගෘහ විදුලි පරිපථ සදහා යොදා ගන්නා විදුලි උපාංග සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇති අතර, අරිප්පු මෝය ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත ඉදිරිපත් කිරිමට පෙර නිරෝධායනය සඳහා නානාට්ටාන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වෙත භාර දුන් අතර, වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.