දකුණු මුහුදේ දී අසාධ්‍ය වූ ධීවරයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

ගාල්ල සිට නාවික සැතපුම් 120ක් පමණ (කිලෝ මීටර් 222ක් පමණ) දුරින් වූ දකුණු මුහුදු ප්‍රදේශයේ දී මෙරට ධීවර යාත්‍රාවක දෙපිරිසක් අතර සිදු වූ ආරවුලක් හේතුවෙන් තුවාල ලැබ අසාධ්‍යව සිටි ධීවරයින් දෙදෙනෙකු 2021 සැප්තැම්බර් 18 වන දින ගොඩබිමට රැගෙන විත් ප්‍රතිකාර සඳහා යොමු කිරිමට ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් කටයුතු කෙරිණි.

කුඩාවැල්ල ධීවර වරායෙන් 2021 අගෝස්තු මස 23 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති ධීවරයින් හය දෙනෙක් රැගත් (ලියාපදිංචි අංක IMUL- A- 0926-MRT) ‘දැහැමි 02’ නැමති බහු දින ධීවර යාත්‍රාවේ ධීවරයින් පිරිසක් අතර ඇති වු ආරවුලක් හේතුවෙන් කැපුම් තුවාල ලැබ අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට සහය වන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සාගරික මුදවා ගැනීම් හා සම්බන්ධිකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලදී. එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වු නාවික හමුදාව දකුණු මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ නිරත වෙමින් සිටි ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘සමාරක්‍ෂා’ නෞකාව එම ධීවර යාත්‍රාව වෙත යොමු කිරිමෙන් අනතුරුව අසාධ්‍යව සිටි ධිවරයින් දෙදෙනා නෞකාව වෙත රැගෙන මුලික ප්‍රතිකාර ලබා දෙමින් ගොඩබිම වෙත යාත්‍රා කෙරිණි.

ඒ අනුව, 2021 සැප්තැම්බර් 18 වන දින ගාලු වරාය ආසන්නයට පැමිණි ‘සමාරක්‍ෂා’ නෞකාවෙන් අසාධ්‍යව සිටි ධීවරයින් දෙදෙනා පි 422 වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව කඩිනමින් ගාල්ල වරාය වෙත රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙ‍රිණි.

තවද, ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරත්නතර සුදානමෙන් සිටී.