ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය

පසුගිය දින කිහිපය තුළ ඇඳහැලුණු අධික වර්ශාව හේතුවෙන් ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ග‍ඟ හරහා වක්වැල්ල ප්‍රදේශයේ ඉදි කර ඇති පටු පාලමෙහි සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙ‍හෙයුමක් නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 11 සහ 12 යන දෙදින තුළ ක්‍රියාත්මක කෙරිණි.

අධික වර්ශාව හේතුවෙන් ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ සැඩ ජල පහරට හසුව ගසාගෙනවිත් තිබූ අපද්‍රව්‍ය වක්වැල්ල පටු පාලම තුළ සිරවීම හේතුවෙන් ජලය ක්‍රමවත්ව බැස යාම අවහිරව තිබූ අතර, ඒ අනුව, නාවික හමුදාව දකුණු නාවික විධානයේ කිමිදුම් අංශයේ නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා වාරිමාර්ග දෙපාර්මේන්තුවේ ද සහාය ඇතිව පාලමෙහි සිරවී තිබූ එම අපද්‍රව්‍ය ඉවත්කර, ජලය ක්‍රමවත්ව බැස යාමට හැකි වන පරිදි සකස් කිරීමට කටයුතු කෙරිණි.