පුපුරණද්‍රව්‍ය ‍භාවිතයෙන් සිදු කරන ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාවෙන් මෙහෙයුම්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසු ගිය දින දෙකක් තුළ (2022 ජනවාරි මස 17 සහ 20) මන්නාරම සහ එරක්කන්ඩි ප්‍රදේශයන්හි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කිරීම සඳහා සූදානම් කර තිබූ වෝටර් ජෙල් නැමැති වාණිජ පුපුරණද්‍රව්‍ය කූරූ එකොලහක් (11) සමඟ තවත් පුපුරණද්‍රව්‍ය ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ධීවරයින් ඉතා සුළු පිරිසක් විසින් පුපුරණද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය මඟින් කොරල් පරිසර පද්ධතියට විශාල හානියක් සිදු වන අතර, එම පරිසරය ආශ්‍රිත මත්ස්‍යයන් බෝවීමද එමඟින් විනාශ වේ. එබැවින්, පුපුරණද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදු කිරීම, සාගරික පරිසර පද්ධතියට පමණක් නොව ඉදිරියේදී මත්ස්‍ය අස්වැන්න අඩු වීම කෙරෙහි ද විශාල බලපෑමක් ගෙන දෙනු ඇත.

මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින නාවික හමුදාව, පුපුරණද්‍රව්‍ය භාවිතයෙන් නීතී විරෝධී ධීවර කටයුතු සිදු කිරීම වැළැක්වීම සඳහා දිවයින වටා වෙරළ කළාපය ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය මඟින් 2022 ජනවාරි මස 20 වන දින එරක්කන්ඩි වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම වෙරළ ප්‍රදේශයේ සඟවා තිබූ වාණිජ පුපුරණද්‍රව්‍යක් වන වොටර් ජෙල් කූරූ නවයක් (09) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

තවද, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් 2022 ජනවාරි මස 17 වන දින මන්නාරම, කොන්තප්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ සිදු කළ තවත් සෝදිසි මෙහෙයුමකදී, පුපුරණද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදු කිරීම සඳහා සුදානම් කර, එම වෙරළට ආසන්න පඳුරක් තුල සඟවා තිබූ වොටර් ජෙල් කූරූ දෙකක් (02), සේවා නූල් හයක් (06) සහ විදුලි නොවන ‍ඩෙටනේටර් තුනක් (03) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මෙලෙස උතුරු මැද නාවික විධානය මගින් නාවික හමුදා භාරයට ගත් පුපුරණද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කළ අතර, නැගෙනහිර නාවික විධානය මඟින් නාවික හමුදා භාරයට ගත් පුපුරණද්‍රව්‍ය ඉදිරි පරික්‍ෂණ කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.

තවද, පුපුරණද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරන ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව ඉදිරියටත් මෙහෙයුම් සිදු කරනු ලබයි.