ගැඹුරු මුහුදේ නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමකින් රුපියල් මිලියන 3300කට අධික වීථි වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දේශිය ධීවර යාත්‍රා 02ක් අත්අඩංගුවට ගනීයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව ශ්‍රී ලංකාවට දකුණු ‍දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් රුපියල් මිලියන 3300කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 330 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිතව) රැගත් දේශීය බහුදින යාත්‍රාවක් සහ එම ජාවාරමට සම්බන්ධ තවත් දේශීය යාත්‍රාවක් සමඟ දේශීය සැකකරුවන් 11 දෙනෙකු 2022 ජනවාරි මස 17 සහ 22 යන දිනයන්හී අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය එක්ව සිදු කළ බුද්ධි මෙහෙයුමකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව ජාත්‍යන්තර මුහුදේ සති 02ක පමණ කාලයක් ආවේක්‍ෂණය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී, ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, දෙවුන්දර සිට නාවික සැතපුම් 737ක පමණ දුරින් වූ (කිලෝ මීටර් 1364ක් පමණ) ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී.

එහිදී එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ උර දහතුනක් තුළ (13) පැකට් 309ක් ලෙස අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 330 කට අධික (ඇසුරුම් බර සහිතව) තොගයක් සොයා ගැනීමෙන් අනතුරුව, එම දේශීය බහුදින ධීවර යාත්‍රාව සමඟ එහි සිටි දේශීය සැකකරුවන් 06 දෙනෙකු 2022 ජනවාරි මස 17 වන දින අත්අඩංගුවට ගන්නා ලදි. එම මුහුදු ප්‍රදේශයේ සමුදුර නෞකාව මඟින් තවදුරටත් සිදු කළ සෝදිසි මෙහෙයුම් මඟින් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය මුහුදේදී හුවමාරු කර ගොඩබිමට රැගෙන යාමට පැමිණි තවත් දේශිය බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු 2022 ජනවාරි මස 22 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.

තවද, මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ගොඩබිම් ජාලයට සම්බන්ධ තවත් සැකකරුවන් 05 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් සොයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් මෙහෙයුම් සිදු කරනු ලබයි. තවද, මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ජාවාරම් කරු ඩුබායි රාජ්‍යයේ සිට මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට තොරතුරු සනාථ වී ඇත.

නාවික හමුදාව මඟින් අත්අඩංගුවටගත් ‍හොරොයින් තොගයේ දළ විථි වටිනාකම රුපියල් මිලියන 3300කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කළ මෙම විශේෂ මෙහෙයුම මඟින් අත්අඩංගුවටගත් හෙරොයින් තොගය, සැකකරුවන් සහ බහු දින ධීවර යාත්‍රා නාවික හමුදාවේ ආරක්‍ෂාව යටතේ මේ වන විට කොළඹ වරායට රැගෙන එමින් සිටින අතර, මේ සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු සහ වැඩිදුර විමර්ෂණ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කිරීමට නියමිතව ඇත.

තවද, මත්ද්‍රව්‍ය මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් මත ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ මැදිහත් වීමෙන් සියළුම බුද්ධි අංශ ඒකාබද්ධ කර පොදු අරමුණක් කරා මෙහෙයවීමෙන් මෙවැනි සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සිදු කිරීමට හැකියාව ලැබි ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව 2021 වර්ෂයේ දී සිදුකළ මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 15.86කට අධික වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද අතර, මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව දේශයේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල ලෙස තම රාජකාරිය නොපිරිහෙලා ඉටුකරමින් ඉදිරියටත් ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා අනෙකුත් බුද්ධි සේවාවන් හා එක්ව අඛණ්ඩව මෙහෙයුම් සිදු කරනු ලබයි.