අරාබි මුහුදේදී ආපදාවට පත් ධීවරයින් පිරිසක් කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සහයෙන් මුදවාගැනේ

නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, අරාබි මුහුදේදී කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්වූ ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාවක සිටි පස් දෙනෙකු (05) එම්ටී අල්ටෙයාර් (MT-ALTAIR ) නෞකාව මඟින් නිරුපද්‍රිතව මුදවාගැනීමට 2022 ජුනි මස 20 වන දින කටයුතු කර ඇත.

ඕමාන් සමාගමක් වෙත කුලී පදනම මත ලබාදුන් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ඕමානයේ ඩකම් (Duqm) වරායට ලඟාවීම සඳහා 2022 ජුනි මස 06 වන දින දික්ඕවිට ධීවර වරායෙන් කාර්‍ය මණ්ඩලයේ 05 දෙනෙකු සමඟ පිටත් වී ඇත. ඒ අනුව එම යාත්‍රාව අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබියදී, ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට ලක්ව ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් 2022 ජුනි මස 17වන දින නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ - සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලදී.

එම දැනුම්දීමට වහාම ක්‍රියාත්මක වූ කොළඹ - සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින්, ඒ පිළිබඳව පකිස්ථානයේ සහ ඉන්දියාවේ මුම්බායි හි පිහිටි සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත මේ සම්බන්ධයෙන් දැනුම් දෙන ලදී. ඒ අනුව ඉන්දියාවේ මුම්බායිහි පිහිටි සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් එම ආපදාවට පත්වූ බහුදින ධීවර යාත්‍රාව වෙත අවශ්‍ය සහය ලබා දීම සඳහා ඒ ආශ්‍රිත මුහුදේ යාත්‍රා කරමින් තිබූ MT-ALTAIR යන ඉන්ධන ප්‍රවාහන නෞකාව යොමු කිරීමට කටයුතු කළ අතර, එම නෞකාව විසින් 2022 ජුනි මස 20 වන දින ආපදාවට පත් ධීවර යාත්‍රාවේ කාර්‍ය මණ්ඩලයේ පස් දෙනා (05) නිරුපද්‍රිතව මුදාගැනීමට කටයුතු කර ඇත.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ-සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් කලාපීය සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සමඟ සම්බන්ධීකරණය වී මුහුදේදී ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත අවශ්‍ය සහන සැලසීම සඳහා නිරන්තරයෙන් කටයුතු සිදුකරනු ලබයි.