ගැඹුරු මුහුදේදී ආපදාවට පත් ධීවරයින් පිරිසක් කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සහයෙන් මුදවාගැනේ

මහා රාවණා ප්‍රදීපාගා‍රයේ සිට නාවික සැතපුම් 174 ක් පමණ (කිලෝමීටර් 322 ක් පමණ) ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේදී ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක ජීවිත අවදානමට ලක්ව සිටි ධීවරයන් තිදෙනෙකු නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, නිරුපද්‍රිතව මුදවා ගැනීමට අද (2022 ජුලි 11) කටයුතු කෙරිණි.

2022 ජුලි මස 02 වන දින වාලච්චේන ධීවර වරායෙන් ධීවරයන් 03 දෙනෙකු සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව යන ලද ලියාපදිංචි අංක IMUL – A-0301 MTR දරණ ධීවර යාත්‍රාව ගැඹුරු මුහුදේදී කිසියම් ආපදාවකට ලක්ව ඇති බවට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ - සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලදී.

එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ කොළඹ - සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, ආපදාවට පත්වූ එම ධීවර යාත්‍රාව මහා රාවණා ප්‍රදීපාගා‍රයේ සිට නාවික සැතපුම් 174 ක් පමණ ශ්‍රී ලංකාවට ගිනිකොනින් වූ මුහුදේ ඇති බව තහවුරු කරගන්නා ලදි. අනතුරුව කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් එම ආපදාවට පත්වූ ධීවර යාත්‍රාව වෙත අවශ්‍ය සහය ලබා දීම සඳහා ඒ ආශ්‍රිත මුහුදේ යාත්‍රා කරමින් තිබූ MT-SHOGUN යන ඉන්ධන ප්‍රවාහන නෞකාව යොමු කිරීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ඉහත සම්බන්ධීකරණය මත MT-SHOGUN නෞකාව, එම ගැඹුරු මුහුදු ප්‍රදේශයේ පැවති අධීක රළු ස්වභාවය හමුවේ ඉතා අවදානම් ලෙස පාවෙමින් තිබූ ආපදාවට පත් ධීවර යාත්‍රාව වෙත කඩිනමින් ළඟාවී ජීවිත අවදානමට ලක්ව සිටි ධීවරයන් තිදෙනා නිරුපද්‍රිතව මුදාගැනීමට අද (2022 ජුලි 11) පස්වරුවේ කටයුතු කරන ලදි. මෙලෙස ආපදාවෙන් මුදවා ගනු ලැබූ ධීවරයින් තිදෙනා (03) ගාල්ල වරාය වෙත රැගෙන ඒමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් මේ වන විට සිදුකරමින් පවතී.

තවද, නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ-සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් කලාපය තුල අපාදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත අවශ්‍ය සහන සැලසීම සඳහා නිරන්තර දායකත්වය ලබාදෙනු ලබයි.