වත්තල හුණුපිටිය ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහාය

වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි අබලි යකඩ එක් රැස් කරනු ලබන මධ්‍යස්ථානයක ඇතිවූ හදිසි ගින්නක් නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහයෙන් නිවාදමා එම ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට නාවික හමුදාව අද (2022 ජුලි 16) පස්වරුවේ කටයුතු කරන ලදි.

වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ ඇති වී ඇති හදිසි ගින්නක් මැඩපවත්වා අවට ප්‍රදේශයට ගින්න පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහාය ලබා දෙන ලෙස කිරිබත්ගොඩ පොලිස් ස්ථානය මඟින් අද (2022 ජුලි 16) පස්වරුවේ වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ මෙහෙයුම් මැදිරිය වෙත කල දැනුම් දීමකට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයට අනුයුක්ත ගිනි නිවීමේ කණ්ඩායමක් ගිනි නිවීමේ රථයක් සහ ජල බවුසරයක්ද සමඟින් මෙම ගින්න පාලනය කිරීම සඳහා යොමු කරන ලදී. ඒ අනුව, නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම විසින් ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතුව ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා අවට ප්‍රදේශයට පැතිරීයාම වැළැක්වීමට මෙලෙස කටයුතු කෙරිණි.

තවද, ඕනෑම හදිසි අවස්ථාවකදී ආපදාවට පත් වන මහජනතාව වෙත අවශ්‍ය සහන සැළසීම සඳහා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටී.