රුපියල් මිලියන 10 ක පමණ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු දූපත් ආශ්‍රිත මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කයිට්ස් දූපත හා පුන්ගුඩුතිව් දූපත අතර මුහුදු ප්‍රදේශයේ අද (2022 අ‍ගෝස්තු 04) අළුයම් කාලයේදී සිදුකල මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ 34 ග්‍රෑම් 38 ක පමණ (‍තෙත බර සහිත) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනයට අයත් පී 014 වෙරළබඩ මුර යාත්‍රාව මඟින් යාපනය, කයිට්ස් දූපත හා පුන්ගුඩුතිව් දූපත අතර මුහුදු ප්‍රදේශයේ අද (2022 අ‍ගෝස්තු 04) අළුයම් කාලයේ සිදුකල මෙම මුර සංචාරයේදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උරයක් පරික්ෂාවට ලක් කරන ලදී. එහිදි එම උරය තුළ පාර්සල් අටක් (08) ලෙස අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 34 ග්‍රෑම් 38 ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී.

නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැ‍ගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම කේරළ ගංජා ‍තොගය මුහුදේ අතහැර දමන්නට ඇතැයි විශ්වාස කෙරේ.

තවද, නාවික හමුදා භාරයට ගත් මෙම කේරළ ගංජා ‍‍තොගයේ දළ විථී වටිනාකම රුපියල් මිලියන 10 ක් පමණ වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ ගංජා තොගය සම්බන්ධ ඉදිරි නිතීමය කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.